SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 21

පසුදා උදාසනම විශ්ව අවදි වුණේ හිතේ ලොකු සතුටක් සිතේ දරාගෙන. මාස එකහමාරකට පමණ පසු ආයෙම පර්යේෂණාගාරය වෙත යන්න ලැබීම ගැන සතුටක් වගේම ඒ කාලය තුළ කිසිදු වැඩක් නො කර සිය පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන්ම මහන්සි වීම නිසා තරමක ඒකාකාරී බවක් විශ්වගේ සිත තුළ තිබුණා. එකම වෙනස වූයේ සිය මාමාත් නැන්දාත් තමා වෙනුවෙන් සියලු කටයුතු ඉටු කරදීම පමණයි. තව නොබෝ  දිනකින්ම ඔවුන් ද නැවත ශ්‍රී ලංකාව බලා යන නිසා නැවතත් තමා තනි වන බව සිතුණත් දැන් ඔහුගේ තනියට මොලී නිතරම ලඟ ගැවසෙන නිසා එවැනි තනිකමක් නො දැනේවි යැයි යටිහිත පවසන බව විශ්වට දැනුණා.

මාමාගේත් නැන්දාගේත් දෙපා නැමඳ නාවික පර්යේෂණ ආයතනය බලා යෑමට ඊයේ තමාට ලැබුණ අලුත්ම වාහනයේ නැඟුන විශ්වට තරමක සැහැල්ලුවක් දැනුණා.

Welcome Back! යනුවෙන් සඳහන් කළ බැනර් එකක් සිය පර්යේෂණාගාරයේ  එල්ලා තිබෙනු විශ්ව දුර තියාම දුටුවා. ඔහුගේ මුහුණේ සිනාවක් ඇඳුනේ ඉබේටම. තමා තවමත් නාවික පර්යේෂණායතනයේ ඒ කුඩා පවුලේ සාමාජිකයෙකු බව ඔහුට මතක් වුණා.

සුපුරුදු පරිදි තම මේසයට යන විට කාර්යාලයේ වෙනදා මේ වෙලාවට නො එන අය මෙන්ම සිය ප්‍රධානීන් දෙදෙනා වන නීල් ෆියු සහ ඩෙනිස් ලිපර්ඩ් දෙදෙනාත් පැමිණ සිටියා.

Welcome Back, son! ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් විශ්ව ඉදිරියට පැමිණ වැළඳ ගත්තේ කවදාවත් නැති විදියේ හෘදයාංගම බවකින්.

ඒ සමගම වගේ මොලී කාර්යාලයට පැමිණියේ කේක් ගෙඩියක් ද රැගෙන.

“ආ….. එච්චරයි අඩුවකට තිබුණෙ…..”

“ඔන්න මම විශ්ව නිසාම නිර්මාංශ කේක් ගෙඩියක් හදාගෙන ආවා…..”

හැමදෙනාම විශ්ව නැවතත් සේවයට පැමිණීම ගැන සුභ පැතුවා….. කේක් බෙදාගෙන තේ පානයෙන් අනතුරුව වැඩ පටන් ගන්න යන අතරේ නීල් සහ ඩෙනිස් දෙදෙනාම විශ්වත් මොලීවත් නීල්ගේ කාර්යාලයට කැඳවූවා.

“දැන් ඉතිං විශ්වට ආයෙම පුරුදු පරිදි වැඩ පටන් ගන්න පුළුවන් නේද?” නීල් විශ්ව දෙස බලාගෙන ඇසුවෙ පිළිතුරක් බලාපොරොත්තුවෙන්ම නොවෙයි.

“ඔව් නීල්, දැන් මට 100% ක් හොඳයි… ආයෙම අතපසු වුණ වැඩත් එක්කම කරන්න පුළුවන් වේවි…”

“ඒක හොඳයි.. මොකද අපේ අලුත් පර්යේෂණය අත ගගා ඉන්න පුළුවන් එකක් නොවෙයි.. මේක වැදගත් වෙන්නෙ අපට පමණක් නොවෙයි මුළු ලෝකයටම…” ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් නැවත වතාවක් විශ්වගේත් මොලීගේත් පර්යේෂණය පිළිබඳ විස්තර රාශියක් කියාගෙන ගියේ සමහර කරුණු විශ්වට අමතක වී ඇතැයි සිතා විය හැකියි. නමුත් ඒ සියල්ල විශ්වට හොඳින් මතක තිබුණා.

“දැන් ඩෙනිස් කියන්නෙ අපට මේ පර්යේෂණය සඳහා ඒ ඒ ස්ථානවලට යන්න වෙනවා කියන එකද?”

“ඔව්…. සමහරවිට අපට මේ පර්යේෂණයේ ක්‍ෂෙත්‍ර පරීක්‍ෂණ සඳහා අදාළ ස්ථානයටම යන්න සිදු වේවි. ඒකට අපට අදාළ බලධාරීන්ගෙන් අවසර ගන්න වෙනවා. ඒ නිසාම අපට අපේ ආයතනය සමඟ ඇති ඔබේ සම්බන්ධතාවය බිඳ දමා වෙනත් ආයතනයකට සම්බන්ධ කරන්න සිදු වෙනවා. නාවික පර්යේෂණ ආයතනය මගින් වෙනත් රටක මෙවැනි පර්යේෂණයක් සිදු කරනවා කියන්නේ ඒ රටවල සැකය කෙළින්ම අප දෙස යොමු වෙන එකයි. නමුත් විශ්වවිද්‍යාලයක පර්යේෂණයක් විදියට මෙය සිදු කෙරුණොත් ඒ සැකය අප වෙත යොමු වෙන්නෙ නැහැ. අපි ඔබ දෙදෙනා යවන්නේ විශ්වවිද්‍යාලයක සිසුන් දෙදෙනකු විදියට.. අදාළ ලියකියවලි සියල්ල අපි සූදානම් කරන්නම්.”

“ළඟදිම යන්න ඕන වෙයිද? මොලී ඇසුවෙ ඒ සියල්ල අවසන..”

“නැහැ නැහැ… අපි දැනට සෑහෙන කාලයක් මෙහේම පර්යේෂණය සිදු කරගෙන යන්න පුළුවනි… නමුත් හරියටම ගුරුත්‍ව ක්‍ෂෙත්‍රවල අගය නිර්ණය කරන්න නම් අපට ඒ ස්ථානයට ම යන්න වෙනවා.”

“කමක් නෑ.. මමත් මගේ ආචාර්ය උපාධි පර්යේෂණයට ඒ වගේ තැන්වලට ගිහින් තිබෙන නිසා ඒ ගැන ලොකු ප්‍රශ්නයක් මට නම් නැහැ… පොඩ්ඩක් අමාරු ඒ ඒ පරිසරයට අනුගත වන එක… හරියටම මාස ගණනාවක කෑම්පින් ට්‍රිප් එකක් ගියා වගේ. එච්චරයි… වැඩියත්ම හොඳ දේ තමයි ඒ ඒ රටවල සංස්කෘතීන්ට බැඳෙන එක… සමහරු අපි දිහා බලන්නෙ සැකයෙන්.. ඒ සැකය දුරු කරගන්න හොඳම විදිය තමයි ඒ ප්‍රදේශවල මිනිස්සු එක්ක සහයෝගයෙන් කටයුතු කිරීම.. අන්තිමට අපට ඒ මිනිස්සු බොහොම ආදරයෙන් සලකන්න ගන්නවා….”

“හරි එහෙනම්.. අපි ඉක්මනින්ම වැඩ පටන් ගනිමු… අපි දන්නවා විශ්ව අනතුරට පත්වෙලා සිටි කාලෙ මොලී මේ පර්යේෂණයට අදාළ ගණනය කිරීම් බොහොමයක් නිම කළ බව.. ඒ වගේම විශ්වත් අදාළ පර්යේෂණ පත්‍රිකා කියවලා නිසි අවබෝධයක් ලැබූ බව.. ඒ නිසා මේ පර්යේෂණය තවදුරටත් පහු කරන එකේ තේරුමක් නැහැ…” ආචාර්ය ලිපර්ඩ් සිය තට්ටය අතගාමින් පැවසුවා.

“වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද?” අවසන නීල් ඇසුවේ සාකච්ඡාව නිමා කරන අටියෙන්.

“නැහැ… මටනම් නැහැ… මොලීට නම් ප්‍රශ්න තියෙනවද දන්නෙ නෑ..”

“නැහැ… මටත් කිසි ප්‍රශ්නයක් නැහැ…”

“එහෙනම් අපි සතියකින් ආයෙම හමුවෙමු.“

 

සිය මාමාත් නැන්දාත් වොෂිංටන් රීගන් ගුවන් තොටුපලට හැරලූ විශ්වට දැනුණේ කවදාවත් නොදැනුන තනිකමක්. කුඩා කාළයේ තනිවම ජීවිතය ගත වූවාට වඩා සමීප බැඳීම් කිහිපයක්ම මෑතක දී ඇති වූ බව ඔහුට සිතුනේ තනිවම රිය පදවාගෙන නවාතැන වෙත පැමිණෙන ගමනේ දී. සෙනසුරාදා දිනයක් නිසාත්, කරන්නට සුවිශේෂී යමක් නොතිබුණ නිසාත්, ඔහු සිය වාහනය වොෂිංටන් බෞද්ධ විහාරයට හැරවූයේ අත්ථදස්සි හිමියන් බැහැ දැක සිත සන්සුන් කර ගැනීමට සිතාගෙන.

“ආ… කොහොමද ඉලංදාරියා? කවදාවත් නොතිබූ සමීපබවකින් ස්වාමීන් වහන්සේ විශ්ව ඇමතූවිට ඔහු ඇත්තටම පුදුම වුණා.”

“දැන් නම් සියයට සියයක්ම හොඳයි ස්වාමීන් වහන්ස….”

“මට විශ්ව එක්ක කතා කරන්න ගොඩක් දේවල් තිබුණා. නමුත් පහුගිය දවස්වල විශ්ව බොහොම කාර්යබහුලව සිටි නිසා මම කතා කරන්නවත් ගියේ නැහැ. ඔයා මෙතැනට අද ආපු එක බොහොම හොඳ දෙයක්. අද පන්සලේ භාවනා වැඩසටහනත් නැති නිසා අපට නිදහසේ කතා කරන්නට පුළුවනි. අපි යමු භාවනා කුටිය පැත්තට…”

අත්ථදස්සි හිමියන් එසේ පවසද්දී විශ්වට දැනුනෙ කුතුහලය පිරි සැහැල්ලුවක්, විශ්වටත් අවශ්‍ය වෙලා තිබුණේ ස්වාමීන් වහන්සේ සමග තමන්ගේ සිතේ පිරී තිබූ බොහෝ දේ පවසා එය හිස් කරගන්නට…

“මට නම් අර කෙල්ල අල්ලන්නෙ නෑ …” සුමනසේකර මහත්මිය සිය සැමියාට රහසින් පැවසුවේ කණස්සල්ලෙන්.

“නීලා…. සුදුපුතා කියන්නෙ බොහොම දැනුම් තේරුම් තියෙන බුද්ධිමත් ළමයෙක්, එයා කවදාවත් මෝඩ තීරණයක් ගන්නෙ නෑ…”

කවදත් බොහොම සන්සුන්ව කරුණු කාරණා සොයා බලා කතා කරන සුමනසේකර මහතා සිය බිරියට පැවසුවා.

“ඒක මම දන්නවා.. ඒ වුණත් කෙල්ලො ඉස්සරහා තාපසයෙක්ගෙ වුණත් සිල් බිඳෙන බව අමතක කරන්න එපා.”

“ඔව් ඉතිං… මම ඔයාට අහු නො වෙන්න මගෙත් සසර ගමන කොච්චර කෙටි වෙන්න ඉඩ තිබුණද?……”

“අනේ යන්න…. කවුද මාව හොයාගෙන අපේ ගෙදර ආවෙ? …” සුමනසේකර මහත්මිය තරමක නුරුස්සන බැල්මක් හෙළුවෙ සිය සැමියා තරහ ගැස්වීමට ය.

“දැන් කොහොමද විශ්වගෙ සෞඛ්‍ය තත්ත්‍වය?” හිමියෝ කතාවට මුල පිරුවහ.

“ශාරීරිකව නම් සියයට සියයක්ම සනීප ගතියක් දැනෙනවා. නමුත් තවමත් සුපුරුදු පරිදි ව්‍යායාම කරන්න බැරි නිසා තරමක අපහසුවක් දැනෙනවා. ලබන සතියේ ඉඳලා ආයෙම ව්‍යායාම කරන්න පටන් ගන්න ඕන. මානසිකව නම් තරමක් ව්‍යාකූලයි..”

“මට තේරෙනවා… විශ්ව ඉන්නෙ දොලොවක් අතර තනි වෙලා… එහෙම නේද?”

“නැහැ ස්වාමීන් වහන්ස… දෙලොවක් අතර නෙවෙයි… ඒත් ව්‍යාකූළයි….”

“දරුවෝ… මට හිත් කියවන්න බැරි වුණාට අංග ලක්‍ෂණ සහ හැසිරීම් රටා හොඳට වැටහෙනවා. ඔයාට කවදාවත් නැතිව හිත ව්‍යාකූල වෙලා තියෙන්නේ ඔය ස්ත්‍රී පරාණ දෙක නිසා…. මට තේරෙනවා…”

“හරි එහෙමයි කියමුකෝ… ඒත් ස්වාමීන් වහන්ස, මට හරියට භාවනාවක් කරන්නවත් හිත එකඟ කරගන්න අමාරුයිනෙ… ඉස්සර කිසිම අවස්ථාවක එහෙම වුණේ නෑ,..”

“අමතක කරන්න එපා විශ්ව, ඔයාගෙ හිත දවස් ගාණක් වෙනම ලෝකයක සැරි සරලා, පාලනයකින් තොරව ඉබාගාතේ ඇවිදලා ආයෙම ශරීරයට ආපු හිතක්, ඒකෙදි ඔයා දන්නා සහ නොදන්නා බොහෝ දෙනෙකුගේ හිත් එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව ගණුදෙනු රාශියක් කරලයි නැවත ආවෙ… කාටවත් නොකීවත්, මම ඒ බව හොඳින්ම දැක්කා,  ඔබට පියවි සිහිය නැති අවස්ථාවෙ ඔබ බොහෝ දෙනෙක් එක්ක ගණුදෙනු කළා… ඒ හැම දෙයක්ම යන්ත්‍රවල සටහන් නොවුණත්, මට හොඳින්ම දැනුණා… ඔයාට තිබුණ එකම වාසිය ඔයාගෙ හිත ඔයාගෙ ශරීරය දමා නොගිය එකයි. එහෙම ගියා නම් අද ඔයා ජීවතුන් අතර නැහැ.. හිත එලියට ආපු හැම වෙලාවකම ආපහු යවන්න ඔයා දන්න කීප දෙනෙක්ම ඔයාගෙ වටේ හිටියා… අමතක කරන්න එපා….”

විශ්ව සිය මුව අයාගෙන බලා සිටියේ අත්ථදස්සි හිමියෝ කවදාකවත් බොරුවක් වංචාවක් කරන කෙනෙක් හෝ නිශ්ඵල යමක් නො පවසන කෙනෙකු නිසාමයි. නමුත් හිමියන්ගේ මුහුණේ පවා එවන් කිසිදු හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසාම විශ්ව විමසුම් සහගත බැල්මකින් හිමියන් දෙස බලා සිටියා.

“ඔව් විශ්ව… අපට නොපෙනෙන, අපි නොදන්නා මාන ලෝකයේ හැම තැනම තියෙනවා. අපට පේන සහ ඇසෙන පරාසයට වඩා වෙනස් බොහෝ පරාසවල ජීවය තිබෙන්නට පුළුවනි.  අපි දෙවියන් බඹුන් සහ භූතයන් කියලා කියන්නේ මෙන්න මේ අපේ පරාසයන්ගේ සීමාවන්ට එහා ගිය වස්තු වන්නට පුළුවනි. නමුත්, ඒ කතාවට නොවෙයි අද ඔබ පැමිණියේ…”

“එහෙමයි ස්වාමීන් වහන්ස…. මට යම් සැකයක් තිබෙනවා මගේ අවට සිටින අය මට ඇත්ත සඟවනවා කියලා. මේ හැඟීම මට හැමදාම දැනෙන අනාරක්‍ෂිත බව නිසා දැනුන දෙයක්ද, එහෙමත් නැතිනම් අනතුරෙන් සිහිය එනවිට සිතේ තිබූ හිස්බව නිසා දැනුන දෙයක්ද කියලා කියන්න මම දන්නෙ නෑ, නමුත් මට කවදාවත් නැති විදියට හිතේ අවිශ්වාසයක් ගොඩ නැඟිලා තිබෙනවා.”

“කොහනේද ඒ අවිශ්වාසය දැනෙන්නෙ? විශ්ව හිතනවද  කවුරු හරි ඔබව මුලාවක දාන්න, එහෙමත් නැතිනම් අමාරුවක දාන්න කටයුතු කරනවා කියලා?”

“එහෙමයි ස්වාමින් වහන්ස… මට හිතෙනවා මගේ මේ අනතුරත් කවුරුහරි ඕනෑකමින්ම කළ එකක් කියලා. කවදාවත් නැති විදයට මගේ ශරීරයට වද දුන්නා. දැනටමත් ඇඟ ඇතුලේ යකඩ කූරු, වෙනත් දෑ බොහොමයක් ඇතුළු කරලා. කවදාවත් ආගන්තුක දෙයක් ඇඟට ඇතුළත් කරගත්තෙ නැති මට ඒක බොහොම වදයක්. ඒ විතරක් නෙවෙයි.. මගේ ජීවත්වීමේ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇත්තෙන්ම මගේ ඇඟ දැන් අපිරිසිදුයි… ඒක මට යථා තත්ත්‍වයට ගේන්න ඕන. නැතිනම් මම බොහොම දුර්වල වෙනවා.”

“විශ්ව තමන්ගේ සිතේ පවතින ව්‍යාකූලබව ස්වාමීන් වහන්සේට කියා පෑවා…”

“අත්ථදස්සි හිමියෝ ඒ සියල්ල අසා සිටියේ සක්මන් කරමින්. අවසානයේ පොත් රාක්කයකින් රැගෙන ආවෙ බොහොම පුරාණ පුස්ථකයක්…”

“මේ පොත ගැන විශ්වට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ… මේ පොතෙන් තමයි සූර්යබණ්ඩාර මහත්මයා විශ්වගෙ ජීවිතය ගොඩදාන්න අවශ්‍ය බෙහෙත හොයා ගත්තෙ…”

“මේක විශ්වට කියවන්න අමාරු වෙන්නෙ නෑ… ඒ විතරක් නෙවෙයි, මම තව බෙහෙත් වට්ටෝරුවක් ලියලා දෙන්නම්, හොයා ගන්න අමාරු වෙන එකක් නෑ.. මේ ලෝකෙ මිනිස්සු නොදන්න බොහොමයක් දේවල් පරිසරයටයි ජලයටයි කරන්න පුළුවනි. ඒ වගේම විශ්ව හිත එකඟ කරගන්න වෙනවා. ශරීරය නැවත පාලනයට ගන්න. හිතයි ශරීරයයි එක විදියට පාලනයට නතුකරගන්නෙ නැතිව ඔබ හිතන තැනට ලංවෙන්න අමාරුයි.”

“ආගන්තුක ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වුණා කියලා ලතැවෙන්න එපා. ඒවා කොහොම වුණත් භෞතිකව ශරීරය ඇතුලෙ තියෙනවා මිසක්, රසායනිකව ඔබේ ශරිරය එක්ක ක්‍රියා කරන්නෙ නැහැ. ඒ නිසා ඒවා ඔයාගෙ පැවැත්මට බාධාවක් වෙන එකක් නැහැ කියලා හිතාගන්න.”

අත්ථදස්සි හිමියෝ විශ්වට තවත් බොහෝ දෑ පැවසුවා… විශ්ව සාවධානව අසා සිටියා මිසක් වෙනත් කිසිවක් කියන්න ගියේ නැහැ…..

“නමුත්, බොහොමයක් දේ ගැන විමසිලිමත් වෙන්න. පිටතින් පෙනෙන දේ ඇතුළත නැතිවෙන්න පුළුවනි, කිසිම දෙයක් සියයට සියයක් විශ්වාස කරන්න එපා.”  අවසානයේ අත්ථදස්සි හිමියෝ වදාරා සිටිය හ.

“දැන් මොකද කරන්නෙ? මිනිහා ජෙනී එක්ක එකට වැඩ කරන නිසාම අපට වාසිය වැඩියි, නමුත්, අපිව අවිශ්වාස කරයිද?”

ජේසන්  එසේ ඇසුවේ සති අන්තයේ සිය සගයින් දෙදෙනා සමගින් මධුවිතක් තොලගාන අතරේ. තවමත් ඔවුන් තිදෙනාම සොයන, ජෙනරාල් වෙලිංටන් සහ අද්මිරාල් බවර්  සැක කරන විශ්වගේ සුවිශේෂීතාවය කුමක්දැයි සොයා ගන්නට තිදෙනාම සමත් වී නැහැ. මේ නිසා ඔවුන් දන්නා සියලුම උපක්‍රම මේ සඳහා යොදවන්න ඔවුන් ක්‍රියා කළා… ඔත්තු බලන ඉලෙක්ට්‍රොණික උපාංග සවි කිරීම, සමීපතමයෙකු යෙදවීම ආදී සියල්ල ඔවුන් උපයෝගී කර ගත්තත්, තවමත්, කිසිම සුවිශේෂී දෙයක් සොයාගැනීමට ඔවුන් අසමත් වුණා.

“මාත් එක්ක වැඩ කරන එක හරි, නමුත් එයා අපිව විශ්වාස කළත්, මම හිතන්නෙ නැහැ එයා අපි හිතන තරම් වැදගත් කෙනෙක් කියලා. අපි කොච්චර මේ වගේ මෙහෙයුම් කරලා තියෙනව ද? මට නම් ඒ එකකවත් තිබුණ හැඟීමෙන් සියයට දහයක්වත් වැදගත්කමක් දැනෙන්නෙ නැහැ මේ ගැන.”

“සමහරවිට ඔයාට එයා ගැන හැඟීමක් ඇති නිසා වෙන්න බැරිද? මයික් ඇසුවේ කුතුහලයෙන්..”

“මටයි කියලා එහෙමත්ම හැඟීමක් නෑ… ඔයාල දෙන්නා මගේ ගැන නොදන්නවා නෙවෙයිනෙ…”

“සමහරවිට මේක බොහොම හෙමින් යන මෙහෙයුමක් නිසා වෙන්න පුළුවන්. වෙන ඒවයෙ තියෙන ඉක්මන්බව මේකෙ නැහැ… ඒ මදිවට මට පර්යේෂණ කරන්නත් වෙලා…”

“කෝකටත් මම කතා කරලා බලන්නම්. සමහරවිට ඉරිදා දවසේ එළියට යන්න යොදා ගන්න බැරි වෙන එකක් නැහැ….”

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

FREE Shipping orders over Rs.1500/= Dismiss