
පිටස්තරයා 22
සති අන්තය ගෙවී ගිහින් සඳුදා සේවයට පැමිණි මොලීටත් විශ්වටත් නීල්ගෙන් කැඳවීමක් ලැබුණේ උදේ පාන්දරම ය.
“කොහොමද විශ්ව දැන්… පර්යේෂණයෙ කටයුතු?”
“අපට පසුගිය සතියෙ ලොකු වැඩකොටසක් කරන්න බැරි වුණා, නමුත් පර්යේෂණ පත්‍රිකා රාශියක් අපි කියවලා බැලුවා. ඒකෙන් යම් යම් කරුණු කිහිපයක හෝඩුවාවන් ලැබුණා. අපි තව ටික දවසකින් ඔබට ඉදිරිපත් කරන්නම්..” විශ්ව කියා සිටියෙ නිදහසට කරුණු දැක්වීමේ ස්වරයකින්.
“මට තේරෙනවා… ටික දවසක් යාවි ඔයාට ඔයාගෙ පරණ තත්ත්වයට එන්න…. කමක් නෑ.. අපි හෙමින් වැඩ පටන් ගනිමු….” නීල් පැවසුවේ විශ්වගේ ස්වරය හොඳින් තේරුම් අරගෙන.
“දැන් යන්න…. අපි ආයෙම ලබන සතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙදි මේ ගැන කතා කරමු.”
දෙදෙනාම කාමරයෙන් පිට වුණේ එතරම් සතුටුදායක හැඟීමකින් නොවෙයි. නීල් කෙතරම් විශ්වගේ අසනීප තත්ත්වය පිළිබඳ කරුණාවන්ත වුවත්, ඔහුටත් සිය ඉලක්ක කරා කණ්ඩායම ගෙනයෑමේ වගකීම තිබෙන බව සියලුම දෙනා දන්නවා. මේ නිසා සියලුම දෙනා උපරිමයෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරනවා. කෙතරම් හොඳින් වැඩ කළත්, තමන්ගේ සේවා කාලය එක දිනකින් නතර කිරීමට හැකි බව දන්නා බැවින් සියල්ලන් ම පර්යේෂණ සිදු කරන්නේ ඉතාමත් පරෙස්සමින්, ඒ වගේම ඉලක්ක සහගත සැලසුමකට අනුවයි.
විශ්වත්, මොලීත් පර්යේෂණාගාරයට පැමිණෙද්දී අනෙක් පිරිස තමතමන්ගේ රාජකාරිවල දැඩිව එල්බගෙන සිටියා. කවදත් විශ්ව දෙස අවධානයෙන් බලා සිටින මෙගන් පමණක් ඇහැකොණෙන් බලද්දී, දෙදෙනාගේ මුහුණුවල ස්වරූපය හොඳින් දුටුවා. එතරම් පැහැදිලි බවක් නොදුටු ඇය කොණක් පාදා ගන්නට මෙන් විශ්වට ඇමතුවා.
“මොකද, ලොක්කා දෙන්නව කරකවලා අතෑරියද?”
“හ්ම්…” මොලී ඊට වඩා යමක් කියන්න ගියේ නැහැ.
“ඇයි විශ්ව… නීල් ඔය දෙන්නට කෑගැහුවද?” නැවතත් මෙගන් ඇසුවේ කිසියම් හෝ උත්තරයක් ලබා ගැනීමේ අටියෙන්.
“කෑ ගැහුවෙ නම් නෑ… නමුත් අපේ ප්‍රගතිය මදි බව තමයි කිවුවෙ…”
“කොහොමත් නීල් ඔහොම තමයි. සඳුද උදේට මිනිහට පොඩ්ඩක් අවුල් යනවා. සතියේ මැද වෙනකොට හරි යයි… මම හිතන්නෙ ලබන මාසයෙ වසර අවසාන ප්‍රගති සමාලෝචනය තියෙන නිසා මිනිහට පීඩනය වැඩියි. දැන් කරපු දේවල්වල ප්‍රතිඵල පෙන්වන්න ඕන කියලා දවසක් නීල් අපි ඔක්කොටම කිවුවා… විශ්ව අසනීප වෙලා හිටපු එකත් පොඩ්ඩක් මේකට බලපෑවා. කොහොමත් මොලීත් වැඩිය ලැබ් එකේ හිටියෙ නෑනෙ ඒ කාලෙ… මෙගන් හීනියට මොලීට වැරැද්දක් දැම්මෙ දෙදෙනා අතර කොහොමත් පොඩි විරසකයක් තියෙන නිසාමයි…”
“බලමු….. ටික දවසක් යනකොට ආයෙම පරණ පුරුදු ගාණට වැඩ කරගෙන යන්න පුළුවන් වේවි…. කෝපි සකසන යන්ත්‍රය දෙසට ඇවිදගෙන යන ගමන් මොලී කිවුවෙ දෙතුන්දෙනාගෙම සාකච්ඡාවට කොමාවක් තබමින්”
෴
“මේ වාර්තාවලට අනුව නම් මේ රුධිර සාම්පල එන්න එන්න නරක් වෙන පාටයි…” වෝල්ටර් රීඩ් රෝහලේ පර්යේෂණ අධ්යක්ෂ මහාචාර්ය හැල් වයිට්, ජෙනරාල් වෙලිංටන්ට කියුවේ බොහොම බැරෑරුම්ව.
“ඕකෙ අනිත්පැත්ත නේද වෙන්න ඕන…? මුලින් අපිරිසිදුව තියෙන ලේ, බෙහෙත් එක්ක පිරිසිදු වෙන එක නේද වෙන්න ඕන?” කුතුහලයෙන් පිරුණු හැඟීමක් ඇතුව ජෙනරාල් නැවතත් ඇසුවේ යමක් පැහැදිලි කර ගැනීමේ අටියෙන්.
“එහෙම ම කියන්න බෑ,.. මෙයාට රෝගීව හිටි කාලයේ අපි සෑහෙන බෙහෙත් ප්‍රමාණයක් එන්නත් කළා… මේ නිසා කොහොමත් රුධිර සාම්පලවල සෑහෙන වෙනසක් දකින්න පුළුවනි. බෙහෙත් නිසා ශරීරයේ අභ්‍යන්තර සංයුතිය කොහොමත් වෙනස් වෙනවා. බෙහෙත් සංයෝගවලට අමතරව ප්‍රතිදේහ, රුධිරාණු පට්ටිකා ආදියේ සංයුතිය වෙනස් වෙනවා වගේම බෙහෙත් නිසා නිපදවෙන විවිධ කුඩා සංයෝගත් මේ මිශ්‍රණයේ තියෙනවා. ඒ නිසාම තමයි මේ සාම්පල මීට වඩා විශ්ලේෂණයකට භාජනය කරන්න වෙන්නෙ… නමුත් චාලි, අපි ඇයි මේ තරම් මේක ගැන මහන්සි වෙන්නෙ?” මහාචාර්ය වයිට් ඇසුවෙ මේ සිද්ධිය නිසා තමන්ගේ සම්පත් බොහොමයක් භාවිත වීම සහ වෙමින් පවතින එක ගැන ඇති වූ කුතුහලයෙන්.
සිය මිතුරා දෙස තරමක් බැරෑරුම් බැල්මක් හෙලා….කාමරයෙන් පිටතට බැල්මක් හෙලා, අවට කිසිවකු නොමැති බව සපථ කරගත් ජනරාල් චාල්ස් වෙලිංටස් කටහඬ අවදි කළා…
“හැල්…. මේක තරමක රහසක්…. මම හිතන්නෙ රාජ්‍ය රහස් රකින එක ගැන ඔබට අලුතෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැනෙ..”
මහාචාර්ය වයිට් කාරණය අවබෝධ කරගත්තාක් මෙන් හිස සැළුවා.
“මේ තරුණයා අපි සම්මුඛ පරීක්ෂණයට භාජනය කළේ නාවික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තනතුරටයි. මිනිහා අසාමාන්‍ය ලෙස දක්ෂතා පෙන්වපු කෙනෙක්. පාසලේ දී වගේම විශ්වවිද්‍යාලයේ දීත් බොහොම පිරිසිදු වාර්තාවක් තිබෙන, විෂය කරුණු වගේම විෂය බාහිර කරුණුවල දීත් ඉතාම හොඳ දක්ෂතා තියෙන කෙනෙක්. ඒ නිසා අපි මෙයාව නාවික පර්යේෂණ ආයතනයට බඳවා ගන්න දෙපාරක් හිතුවෙ නැහැ… මොකද කියනවා නම්, මෙයා අපට සියයට සියයක්ම හරි යන කෙනෙක් නිසා…”
“ඉතිං ඒක ලොකු සුවිශේෂ කාරණයක් නෙවෙයිනෙ… ඔය වගේ බුද්ධිය තියෙන කී දෙනෙක් ඉන්නවද?” මහාචාර්ය හැල් වයිට් නොයිවසිල්ලෙන් ඇසුවා.
“ඉන්නවා… නමුත් මෙයාගෙ විශේෂත්වය හොයා ගත්තෙ පස්සෙ… ඒකයි අපට වැදගත් කාරණය…”
“ඒ මොකද්ද? අපට නම් එහෙම විශේෂත්වයක් දකින්න ලැබුණෙ නෑ…..”
“නැත්තෙ නෑ හැල්…. ඔයා හරියට මේ වාර්තා කියවලා නෑ…. ඔයා මේ නාටකයට එකතු වුණේ මැදදි…. ඒකයි… අපි මෙයාගෙ චර්යාවන්, සෞඛ්‍ය වාර්තා සියල්ල ගැන හොඳ අවධානයකින් හිටියෙ… මුල්ම රුධිර පරීක්ෂාවෙදි ලැබුණ වාර්තාව අපි කාටවත්ම විශ්වාස කරන්න බැරි වුණා… ඒකම තමයි මෙයාට මෙච්චර කරදර වුණෙත්…..”
“ඒ කියන්නෙ….?”
“මේ තරුණයගෙ රුධිර වාර්තාව හිතාගන්න බැරි තරම් පිරිසිදු වාර්තාවක්… අපේ රසායනාගාරයෙ හොඳම රසායනඥයින් දෙතුන් වතාවක් පරීක්ෂණ කරලා තමයි මේ නිගමනයට ආවෙ… ඒ රුධිර සාම්පල හරියටම අලුත උපන් ළදරුවෙකුගෙ වගේ රුධිර සාම්පල… ඒ නිසාම අපි සැක කළා මෙයා කුමක් හෝ විශේෂත්වයක් තිබෙන කෙනෙක් කියලා. ඒ නිසා අපි මෙයා පස්සෙ ගියා. ඒ අතරෙදි තමයි මේ අනතුර සිදු වුණේ.. හොඳ වෙලාවට මෙයාට ලොකු අවදානමක් නැති වුණත්, අපට පුළුවන් වුණා මෙයාගෙ රුධිර සාම්පලවල වෙනස්කම් අධ්‍යයනය කරන්න… ඒ නිසාම තමයි මේ රුධිර සාම්පල පිරිසිදු රුධිරයේ ඉඳලා සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරය පමණට කිසියම් අපිරිසිදු වීමක් සිදු වෙන්නෙ. දැන් ඔබට වැටහෙනවා ඇති මෙයාගෙ විශේෂත්වයක් තිබෙනවා කියලා.”
“හ්ම්….. ඒක හරිම අසාමාන්‍ය කතන්දරයක්…. නමුත් චාලි කියන නිසා මම පිළිගන්නවා… දැන් ඊලඟට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ?” මහාචාර්ය වයිට් ඇසුවෙ තරමක් කුතුහලයෙන්.
“ඊලඟට අපි එයාව අධ්‍යයනය කරගෙන යනවා. මේක ඇත්තෙන්ම අපටත් හිතාගන්න බැරි තත්ත්වයක්. ඒ නිසාම අපේ රසායනාගාරය ඔබේ රසායනාගාරයත් එක්ක සම්බන්ධ වෙලා දිගටම මේ පුද්ගලයව අධ්‍යයනය කරගෙන යනවා. ඒ නිසයි මේ තරම් රුධිර සාම්පල පරීක්ෂා කළේ. අපි හොයාගත්ත දේ අනුව මෙයා සුවිශේෂී ඖෂධ පැලෑටි මිශ්‍රණයකින් හදන දෙයක් ඇඟේ ගානවා. මේක නිසා ශරීරයේ ලේ පිරිසිදු වන බව තමයි අපට දැනිලා තියෙන්නෙ. අනිත් දේ තමයි මෙයා බොහොම පිරිසිදු ජීවිතයක් ගතකරන කෙනෙක්.”
“ඒ කියන්නෙ?”
“මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ සිගරැට් නොබොන කෙනෙක්. ඒ වගේමයි කෘත්‍රිම ආහාර හෝ සැකසූ ආහාර ලබා ගන්නෙ නැහැ, නිර්මාංශ ආහාර තමයි ගන්නෙ.. ඒ වගේම කිරි, බිත්තර වැනි දේ වත් ගන්නෙ නැති සියයට සියයක්ම නිර්මාංශ පුද්ගලයෙක්. මේ නිසා ඔහුගෙ ශරීරයට ආගන්තුක ද්‍රව්‍ය ඇතුළුවෙනවා අවමයි.”
“එහෙම වුණා කියලා ලේ පිරිසිදු වෙන්නෙ නැහැනෙ… ඇඟ ඇතුලෙම ඇති ද්‍රව්‍ය, බෙහෙත් වර්ග, ආදී දේ නිසා ලේවලට නොයෙකුත් ආගන්තුක ද්‍රව්‍ය එකතු වෙනවනෙ..” මහාචාර්ය වයිට් නොඉවසිලිමත්ව පැවසුවෙ ඔහුගෙ දැනුමට අනුව වුවත් මේ සිද්ධිය තරමක් අභව්‍ය සිදුවීමක් නිසා.
“අන්න ඒක තමයි අපටත් තියෙන ප්රශ්නය.. මේ දෑ එකතු වුණත්, ඉතා ඉක්මනින්ම මේ ආගන්තුක ද්‍රව්‍ය පිරිපහදු කරන යන්ත්‍රණයක් මෙයාගෙ ඇඟ ඇතුලෙ තියෙනවා. එසේත් නැතිනම් ඔහු ලබා ගන්නා බෙහෙතක් හෝ වෙනයමක් නිසා ශරීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙනවා. මේ නිසා ඔහු බොහොම නිරෝගී සහ කාර්යක්ෂම වෙනවා. ඒ වගේම මානසික ශක්තියත් ඉතාම ඉහළ මට්ටමක පවත්වාගෙන යනවා.”
“මේ හැමදේම ගැන යම් තරමක හෝ තොරතුරු අපට ලබාගන්න පුළුවන් වුණේ මේ අනතුරෙන් පස්සෙ තමයි. ලබන සතියක එයා නැවත පරීක්ෂාවට ආවම අපට බලාගන්න පුළුවනි ලේ පිරිසිදු වෙලා ද නැද්ද යන එක.”
෴
“දැන් අපි කොච්චරක් කියලා මේ වීඩියෝ දිහා බලං ඉන්නද? දවස් ගාණක්ම එකම කතන්දරේ විතරයි නෙ.. මිනිහා ගත කරන්නෙ බොහොම සාමාන්‍ය ජීවිතයක්, ඊට අමතරව දවසට දෙවතාවක්, මිනිහා නාන කාමරයට යනවා, නානවා, ආපහු එනවා… මම හිතන්නෙ නම් අපි කැමරාව හයි කරන්න ඕන නාන කාමරයේ….”
“හොඳට හිටියි…. අපි නාන කාමරවල කැමරා හයි කළොත් ඉතිං අපට ගෙදර යන්න වෙන්නෙ ඇඳුම් ගලවලා තමයි…. තමුසෙට නම් පිස්සු..”
“පිස්සු කියලා කියන්නෙ කොහොම ද? මේ මිනිහා නිසා අපේ සති ගාණක් කාලය නාස්ති වෙනවා. වෙන මෙහෙයුමක නම් වෙන රටක වටපිටාව හරි බලන්න යන්න පුළුවන්. මේක මේ එපාට්මන්ට් එකක හිරවෙලා, එකම රටාවක ජීවිතයක් දිහා බලාගෙන ඉන්න වෙනවා… ජෙනීටවත් කියලා බලන්න ඕන මේක පොඩ්ඩක් වෙනස් කරවන්න කියලා… ගෑණිට ඔය වගේ දේවල් බැරි කෙනෙක් නෙවෙයි නෙ….”
එෆ්බීඅයි ඒජන්තයින් දෙදෙනාට දැන් විශ්වගේ දින චර්යාව නිරීක්ෂණය කර එපා වී ඇති සෙයකින් කතා කරන්නට විය. සෑමදාම එ්කාකාරී දින චර්යාවක් ගත කරන විශ්වගේ ජීවිතය කෙතරම් නීරස ඇත්දැයි මේ දෙදෙනා සාකච්ඡා කරන්නට විය. ඇත්තෙන්ම විශ්වගේ දිනචරියාව බොහෝ දුරට ඒකාකාරී ය. පර්යේෂණායතනයෙන් නිවසට එන විශ්ව මුලින්ම සිදු කරන්නේ තම කාමරයේ වූ කුඩා භාජන කිහිපයක වූ දෑ කිහිපයක් ගෙන මිශ්‍රණයක් සකසා ගැනීමයි. ඉන්පසුව නානකාමරයට යන ඔහු පැය භාගයක් පමණ එහි ගතකරයි. නැවත නිදන කාමරයට ඔහු එන්නේ නැවුම් ප්රබෝධයකිනි. සමහර දිනවල ඒ සැණින්ම ඔහු සිදු කරන්නේ පැයක් හෝ දෙකක් නිදා ගැනීමයි.
නින්දෙන් අවදිවන විශ්ව සෑමදාම රාත්‍රී ආහාරයට ගන්නේ එළවලු කිහිපයකින් සකසාගත් සලාදයකි. රාත්‍රී ආහාරයනේ පසු පැය කිහිපයක් පොත්පත් කියවන ඔහු, නින්දට පැයකට පෙර භාවනාවක යෙදේ. පැයක් පමණ නිසොල්මනේ භාවනාවක යෙදෙන ඔහුගේ නොසැලෙන ඉරියවු දෙස ජේසන්ටත් මාක්ටත් එතරම් වේලා බලා සිටිය නොහැකි ය. සතියට දින දෙකක් පමණ විශ්ව ලංකාවට දුරකථන ඇමතුමක් ගන්නේ සිය මාමාගේ සහ නැන්දාගේ සුවදුක් විචාරීම සඳහා ය. එයත් ඉතාම ඒකාකාරී දුරකථන ඇමතුමකි. ඔවුනට අනුව මේ නීරස ජීවිතය දෙස සති ගණනක් බලා සිටීම දැනටමත් ඉතාම ඒකාකාරී කාර්යයක් වී හමාර ය. එසේ වුවත්, සිය රාජකාරිය එය වන නිසාම, සිදු නොකරත් නොහැකි ය.
පිටතට පෙණුන කාරණය එසේ වුවත්, විශ්වගේ දින චර්යාව නැවතත් සුපුරුදු තත්ත්වයට පැමිණ ඇතිබව ඔහුට වැටහිණි. සිය කායික ශක්තිය සියයට සියයක්ම නැවතත් ලැබී ඇති බවත්, මානසිකවත් සිය ඒකාග්‍රතාවය ඉතාම ඉක්මනින් ලඟා කරගතහැකි බවත් ඔහුට දැනී තිබුණි. එසේ වුවත්, තවත් දිනයකින් නැවත වෝල්ටර් රීඩ් රෝහල වෙත යෑමට ඇති බව විශ්වට මතක් විය.