SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 23

“මාක්…. මාක්… නැගිටිනවා….” උදාසනම අවදි වූ ජේසන් සිය පරිගණකයේ වූ වීඩියෝ දර්ශන පරීක්‍ෂා කරන අතරතුරේ ම කෑ ගැසුවේ ය.

“මොන…මගුලක්ද ඕයි… නිදාගන්න දෙනවා.. මොකද්ද මේ පාන්දරම බෙරිහන් දෙන්නෙ?”

“මගුලක් තමයි හලෝ… මේ බලනවා මේ වීඩියෝ එකේ තියෙන්නෙ මොනවද කියලා?”

නිදිගැට කඩමින් සිය පරිගණක මොනිටර වෙත ඇස් යොමු කළ මාක්ගේ දෑස් අදහාගනු බැරිව ගල් වී බලා සිටියේ ය.

“මේ මොනවද වෙලා තියෙන්නේ?”

“හපොයි !…. දැන් මොකද කරන්නෙ? අපි ගිහින් බලමු ද මොකද වෙලා තියෙන්නෙ කියලා?”

“මේක මෙහෙම තිබුණොත් අපට විසුමක් නැතිවෙයි….  ඉක්මන් කරමු….” මාක් හොඳටම කලබල වී කියාගෙන කියාගෙන ගියේ ය.

“හෝව් හෝව් මස්සිනා.. පොඩ්ඩක් ඉන්නවා… අපි මේක හරියට ඇනලයිස් කරලා බලන්න ඕන…. පොඩ්ඩක් ඉන්නවා… ගිහින් වතුර එකක් බීලා හරියට ඇඳුමක් ඇඳගෙන එනවා…”

තවමත් නිදන යට ඇඳුමින් සිටි මාක්ට තරමක් පරිණත සහ අත්දැකීම් ඇති ජේසන් පැවසුවේ කරන්නට ඇති දෑ සිතින් සැලසුම් කරමින් ය. ඒ සමඟම ජේසන්, සිය පරිගණක මොනිටර අසළ පුටුවකට බර දුන්නේ ඉදිරියට සිදුවිය හැකි අවිනිශ්චිත ක්‍රියාදාමයක සිතිවිලි රැසක් සිතේ රඳවාගෙන ය.

“මොකද වෙලා තියෙන්නෙ?” ඉතාම ඉක්මනින් නැවත මෙහෙයුම් කාමරයට පැමිණි මාක්, ජේසන් අසළින්ම වාඩී වූයේ තමන්ගේ ජීවිතය, රැකියාව සහ මුළුමහත් අනාගතයම පිළිබඳ වූ අවිනිශ්චිත හැඟීමක් මුහුණෙන් පෙන්වමිනි. දෙදෙනාම තමන්ගේ ඉදිරියේ වූ තත්ත්‍වය ඉතා බරපතල දෙයක් බව දැන සිටියහ.

මෙතෙක් කාලයක් විශ්වගේ නිවසේ සිට සජීවී වීඩියෝ දර්ශන ගෙන එමින් තිබූ සියලුම කැමරා ක්‍රියා විරහිත වී කළු සහ සුදු තිත් සමූහයක් සියලුම පරිගණක මොනිටර වෙතින් දර්ශනය වෙමින් තිබුණි. විශ්වගේ නිවසෙන් පැමිණෙන වීඩියෝ දර්ශනවල කිසියම් විසන්ධි වීමක් හෝ බල රහිත වීමක් ඇති බව සැණෙකින් ජේසන්ට වැටහිණි. මේ සියල්ල සිතින් විශ්ලේෂණය කළ ජේසන් මුලින්ම කළේ සිය පරිගණකයේ වූ වීඩියෝ දර්ශන පැය කිහිපයක් පිටුපසට  ගෙන යෑමයි.

“ආ.. මේ තියෙන්නෙ…. මේවා වැඩ….” මාක් පැවසුවේ නොයිවසිල්ලෙන්. “බලමු බලමු… මොකද්ද වෙලා තියෙන්නෙ කියලා…..”

දෙදෙනාම දෑස් දල්වාගෙන විශ්ව සිය සයනයේ නිදා සිටින වීඩියෝ දර්ශන ඉක්මනින්ම ඉදිරියට ගෙනගියේ කුමක් හෝ හෝඩුවාවක් ලබා ගැනීමේ අටියෙන්.

“හරි… මිනිහා නැගිට්ටා… දැන් යනවා බාත්රූම් එකට… ඕක ඉතිං හැමදාම වෙන දේනෙ… ඕක ඉස්සරහට දාන්න….”

“ඉන්නවා කෑ ගහන්නෙ නැතිව…..”  ජේසන් සිය සගයාට තරවටු කළේ ඔහු නොයිවසිල්ලෙන් මෙන්ම සෑහෙන චකිතයකින් සිටින බව දැනගත් නිසා ය.

“දැන් ඉතිං යෝග ව්‍යායාම කරන්න පටන් ගනීවි….”

“මාක්… කටවහගෙන ඉන්නවා…. මට මේක හරියට බලාගන්න දීලා… බැරිනම් ගිහින් නිදාගන්නවා…” බැරිමතැන ජේසන් පැවසුවේ මාක්ට නැවතත් යමක් කියන්නට ඉඩක් නොතබමිනි.

එකවරම විශ්ව වහලේ වූ කැමරාව දෙස නෙත් යොමා සිටිනු දුටු ජේසන්ට, සිදුව ඇති දේ වටහා ගැනීමට එතරම් කාලයක් ගත වූයේ නැත.

උදාසනම අවදි වූ විශ්ව සිය සුපුරුදු දින චර්යාව ඇරඹීමට සූදානම් විය. එක්වරම ඇසුන ශබ්ධයකින් සිය කටයුත්තට සිත යොමුකිරීම පසෙක ලා, වහලේ දුවන සත්ත්‍වයා මොකෙකු දැයි බැලීමට සිය කාමරයේ වායුසමන කවුළුව වෙත ලඟා වූයේ අසළ වූ පුටුවකට නගිමිනි.

“මේ මොකක්ද?”

සිය වායුසමන කවුළුවේ වූ කළු පැහැති ඉලෙක්ට්‍රොණික උපකරණය ගලවා ගත් විශ්ව තමාගෙන්ම විමසාගත්තේ ය.

“කැමරාවක් නේද?” සිය කුතුහලය තවත් වැඩි කරගනිමින් එය පරීක්‍ෂා කරන්නට පටන්ගත් විශ්වට කිසියම් සැකයක් ඇතිවීමට වැඩි කාලයක් ගත වූයේ නැත.

කිසියම් දෙයක වැරැද්දක් ඇති බවත්, සිය නිවසම අඟලක් නෑර පරීක්‍ෂා කළ යුතු බවත් ඔහුට සැනෙකින් ඉවෙන් මෙන් වැටහුණි.

“හලෝ….”

“හලෝ… ඔව් විශ්ව…. ඇයි මේ මහ පාන්දර? මොකුත් කරදරයක්ද?”

“නැහැ ගීතිකා…අද වේලසනින් ඇහැඇරුණා… මම දන්නවනෙ ඔයත් උදෙන්ම ඇහැඇරෙන බව, ඒකයි උදෙන්ම කතා කළේ….. මම අද පොඩ්ඩක් පරක්කු වෙනවා රෝහලට එන්න… මගේ පරීක්‍ෂණ වෙලාව පැය දෙකකින් විතර පස්සට දාගන්න පුළුවන්ද?”

“අපොයි පුළුවන්… මොකද බැරි? මම දැන්මම කරන්නම්….කීයට ද ඔයාට එන්න පුළුවන්?”

“මම දවල් එකොළහට විතර එන්නම්,… කරලා ඉවර කරන්න අත්‍යවශ්‍ය වැඩක් තියෙනවා. බොහොම ස්තුතියි…”

මුළු නිවසම තියුණු ලෙස පරීක්‍ෂා කළ විශ්වට සෑම කාමරයකම සවිකර තිබූ ඉතා කුඩා රැහැන් රහිත නවීනතම කැමරා විශේෂයක් සොයා ගැනීමට හැකි වූවා පමණක් නොවෙයි ඒ බොහොමයක් තමන්ගේ සෑම චලනයක්ම හොඳින් රූපගතකර ඇතිබව ඔහුට වැටහී ගියා. තමන් දන්නා සියලුම උපක්‍රම යොදමින්, අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු අනුසාරයෙන්, තම නිවසේ සවිකර තිබූ කැමරා සහ මයික්‍රෆෝන සියල්ලම වාගේ සොයා ගැනීමට ඔහුට හැකි වූවා.

තමන් සවි කළ සෑම කැමරාවක්ම, සෑම මයික්‍රෆෝනයක්ම එකින් එක විශ්වගේ අතින් ගැළවෙනු ජේසන් සහ මාක් බලා සිටියේ කණගාටුව සහ බිය මුසු හැඟීමකින්. කෙනෙකුගේ පෞද්ගලිකත්‍වය ආක්‍රමණය කරන හෝ ඊට බාධා කරන කටයුතුවලට ඇමරිකාවේ නීති සංග්‍රහයේ ඇත්තේ සුළුපටු දඬුවම් නොවන බව නීතිය හා නිතර කටයුතු කරන එෆ් බී අයි ඒජන්තවරු දෙදෙනාම හොඳින් දැන සිටියා. තමන් කරන්නේ නීතිවිරෝධී කටයුත්තක් වුණත්, ජාතික ආරක්‍ෂාව සඳහා මෙවැනි කටයුතු අනන්තවත් කර ඇති මේ දෙදෙනාට, මේ තමන් කළ දේ ඉහළ තනතුරුවලට සාධාරණීකරණය කරන්නේ කෙසේ ද යන භයානක හැඟීම සිත තුළ තෙරෙපෙමින් තිබුණා.

වෙනත් කටයුතුවල දී තම කටයුතු සාධාරණීකරණය කළ හැක්කේ ඒ සියල්ල ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බවට සැක හැර දැනගැනීම නිසා ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන මෙන්ම නීතිමය ආවරණය ද තමන්ට ලැබෙන බව හොඳින් දන්නා නිසා ය. එහෙත් ජාතික ආරක්‍ෂාවට කිසිදු තර්ජනයක් නොමැති, කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නොමැති, කිසිදු නීති කඩකිරීමක් පිළිබඳ සඳහනක් නොමැති, නිර්දෝෂී පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්‍වය ආක්‍රමණය කිරීම නීතිය ඉදිරියේ තමන් නිරුවත්වන බව දැනගත් මේ දෙදෙනා ඔළුවේ අතගසාගෙන කල්පනා කළේ තමන් ඉහළ පාලනාධිකාරියට පවසන්නේ මොනවා ද යන්න පිළිබඳ කිසිදු අදහසක් සිතේ නොමැතිවයි. එසේම මේ කාරණය විශ්ව ද සුළුකොට නො තකන බව ඔවුන් දෙදෙනාම දැන සිටි හ. තමන්ගේ එකම පිළිසරණ සිය අනෙක් සගයා වන ජෙනී බව දැනගත් මාක් සහ ජේසන් ඇයට ඇමතීමට දුරකථනය අංකනය කළ හ.

“ඉක්මනට සියලුම උපාංග ගලවන්න… දැනටමත් පොලීසිය ඇවිත් ඉන්නෙ… දැන් ඒ ගොල්ලෝ අවට ගෙවල් පරීක්‍ෂාව පටන් ගනීවි… සියලුම උපාංග ගලවගෙන ඔතැනින් ඉවත් වෙන්න….” ජෙනී කිසිදු කලබලයක් නොපෙන්වා ඔවුනට උපදෙස් ලබා දුන්නේ ක්‍ෂෙත්‍රයේ පළපුරුද්ද මනාව උපයෝගී කර ගනිමින්.

“කොහොමද ඔක්කොම අයින් කරගන්නෙ? මෙතැන මොනිටර්ම කීයක්ද? මේවා ගලවගෙන යනකොට පොලීසියට ඔක්කොම පේනවනෙ….” මාක් පැවසුවේ තැතිගැන්මකින්…

“බොහොම සරළයි… ඕක දාගන්න තමන්ගෙ බඩු ගෙනාපු ට්‍රැවලිං බෑග් වලට… පිටරටකට යනවා වගේ ලෑස්ති වෙලා ටැක්සියක් ගෙන්වගෙන යන්න…. පිටතට ඇහෙන්න එයාපෝට් යන විදියට රඟපාන්න….”

තමන්ගේ රඟපෑම ඕනෑම තැනක තමන්ට සුදුසු පරිදි හැඩගස්වාගත හැකි පළපුරුදු සීඅයිඒ ඒජන්තවරියක් වන ජෙනී සිය සගයන්ට සරළව තම සැලසුම කියා දුන්නා ය.

තමන් කාව විශ්වාස කරනවා ද යන හැඟීමක් රහිතව තම නිවසේ සක්මන් කළ විශ්ව අවසානයේ 911 ඇමතීමට තීරණය කළේ, නීතිය පිළිබඳ කිසිදු විශ්වාසයක් නැතත්, කළ යුතු මුල්ම කටයුත්ත එය නිසා ය.

ඉතා කෙටි කාලයක් තුළ පැමිණි පොලිස් නිලධාරීහු, සිය පැමිණිල්ල සටහන් කරගෙන තමා නිවසේ ගළවා තිබූ අධිතාක්‍ෂණික ඉලෙක්ට්‍රොණික උපකරණ සියල්ල තම භාරයට ගත්හ.

එසේම ඔවුන් ගෙනැවිත් තිබූ එවැනි උපකරණ හඳුනාගැනීමේ ඩිටෙක්ටර භාවිතයෙන් නිවසේ අස්සක් මුල්ලක් නෑරම පරීක්‍ෂා කළහ. එහෙත්, කිසිවකුට අලුතෙන් යමක් සොයා ගැනීමට විශ්ව ඉඩ තබා තිබුණේ නැත.

“ශහ්… ඔයා සෑහෙන හොඳට ඔක්කොම දේවල් හොයාගෙන තිබෙනවනේ….” පොලිස් නිලධාරියා විශ්ව අගය කළේ ය.

“ඔව් ඔෆිසර්… මම සෑහෙන විස්තර හොයාගෙන මේවා හොයා ගන්න ආකාරය බලලා මුළු ගේම පීරුවා…”

“ඔයාට කවුරුවත් සැකද මේ කටයුත්ත ගැන..? බොහොමයක් වෙලාවට තනි නිවෙස්වල නම් නිවාස අයිතිකාරයා මෙවැනි උපකරණ සවි කරනවා, නමුත් නීති විරෝධීයි. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට නිවාසයක් කුළියට දෙනවිට…. ඒක ඇත්තෙන්ම උන්ගේ වලත්තකමට කරන දෙයක්….. ඒත්, මේක ටිකක් වෙනස්… මේ සියලුම උපකරණ බොහොම අධිතාක්‍ෂණික උපකරණ. සාමාන්‍ය වෙ‍ෙළඳපොලේ ගන්න ටිකක් අමාරු උපකරණ. මේක බොහෝවිට මිනිසුන් නිරීක්‍ෂණය කරන්න භාවිත වන උපකරණ කට්ටලයක්…”

“මටත් හිතාගන්න බැරි ඒකයි ඔෆිසර්…. මම තනියම ජීවත් වෙන්නෙ… අවම වශයෙන් මට පෙම්වතියක්වත්, එහෙම ඇසුරු කරන කෙනෙක්වත් නැහැ…”

“ඔබ කොහෙද සේවය කරනවා කිව්වෙ? පොලිස් නිලධාරියා විමසුවේ තරමක කුතුහලයෙන්…”

“නාවික පර්යේෂණ ආයතනයේ… ඇයි?”

“මොනවද එනත වෙන්නෙ?”

“එතැන වෙන්නෙ නම් ටිකක් සුවිශේෂී පර්යේෂණ, ආරක්‍ෂාව ටිකක් තදයි, බොහොමයක් අධිතාක්‍ෂණික පර්යේෂණ, ඉදිරියේ ඇමරිකාවට ප්‍රයෝජනවත් වන… මට මීට වඩා වැඩිදුර විස්තර කියන්න අමාරුයි…”

පොලිස් නිලධාරියා හිස සලා කල්පනා කරන්නට වුණා.

“අපට මෙහෙම හිතන්න බැරිද? ඔබ කරන දේවල්වල රහස් ලබා ගන්න, පිට කෙනෙකු මෙවැනි උපකරණ සවි කරලා ඔබ නිරීක්‍ෂණය කරනවා කියලා? බොහොමයක් දේ ඒ වගේ සිදු වෙනවනෙ….” පොලිස් නිලධාරියාගෙන් අලුත් අදහසක්…

“හ්ම්…. වෙන්න පුළුවන්…. නමුත්, මම මේ ආයතනයේ වැඩට ගිහින් බොහොම ටික කාලයයි. ඒ විතරක් නෙවෙයි, අපි බොහොමයක් වෙලාවට කිසිම වැඩක් ගෙදර ගේන්නෙ නැහැ… ඒක නීතියට පටහැනියි… ගෙනාවත්, පොදුවේ පරිහරණය කළ හැකි පර්යේෂණ පත්‍රිකාවක් වැනි දෙයක් විතරමයි. ඒ නිසා මම හිතන්නෙ නැහැ කෙනෙකුට මගේ පර්යේෂණ ගැන දැනගන්න මේ වගේ දෙයක් කරන්න ඕන වෙනවා කියලා… මට හිතෙන විදියට මේක මීට වඩා එහා ගිය දෙයක්…. විශ්ව විස්තර කළේ තරමක ආවේගයකින්…”

“මට තේරෙනවා… මම මේ ඔබෙන් ප්‍රශ්න කරන්නේ මේකට හෝඩුවාවක් ලබා ගන්න… ඔබ නාවික පර්යේෂණ ආයතනයේ සේවය කරනවා කියන්නේ, ඇමරිකාවේ බොහොම සංවේදී තොරතුරු සංසරණය වෙන තැනක වැඩකරන කෙනෙක්. ඒ නිසා ඔබේ ඉලක්කගත වීම වැඩියි. මොකද කියනවා නම්, සමහරුන් එවැනි තැනකට ඇතුළු වීමට හෝ තොරතුරු ලබාගැනීමට යොදා ගන්නෙ ඔබ වැනි පුද්ගලයො. ඔවුන්ට එතැනට ඇතුළු වෙන්න පහසුයි ඔබ හරහා…. ත්‍රස්තවාදී සැකකරුවො හෝ වෙනත් ඉලක්ක කරගත් පුද්ගලයොන්ගේ ජීවිත නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක අංශ පවා මෙවැනි කටයුතු කරන බව මම අමුතුවෙන් ඔබට කියල දෙන්න අවශ්‍ය නැහැනෙ…”

“ඔබ කියන්නෙ මම එවැනි ඉලක්කයක් කියලද?” විශ්ව දැන් නම් විමසුවෙ තරමක අසතුටකින්…

“එවිටම විශ්වගේ දුරකථනය නාද වුණා…..“ ඇමතුම ලබා ගත්තේ මොලී…

විශ්ව දුරකථනය විසන්ධි කළේ පොලිස් නිලධාරියා සමග සංවාදය දිගටම කරගෙන යන්න අවශ්‍ය නිසා…

නැවත වතාවක් දුරකථනය නාද වුණා….. පොලිස් නිලධාරියා හිසින් සන් කළේ දුරකථනයට සම්බන්ධ වන ලෙසයි… නැවතත් එහාපැත්තෙන්.. මොලී…

“සුභ උදෑසනක් විශ්ව… අද ඔයා වෝල්ටර් රීඩ් රෝහලට යන්න ඕන නේද? මම එන්නද ඔයාව ගන්න?” මොලීගේ මෘදු කටහඬ අනෙක් පසින් ඇසෙනවිට විශ්වගේ චංචලබව තරමක් පහව ගියා…

“මොලී…. මම පොඩි වැඩකයි ඉන්නෙ… මම ගීතිකාට කිවුවා මගේ පරීක්‍ෂණ වෙලාව පස්සට දාන්න කියලා….”

“විශ්ව… ඔබ හොඳින්ද? මට තේරෙනවා ඔබ යමක් නිසා කලබල වෙලා කියලා…”

“නැහැ මොලී… මම හොඳින්…. සියල්ලම හොඳින්…”

“කමක් නැහැ…. මම එන්නද ඔයාව ගන්න දැන්?”

“එපා…. මම ඔයාට කියන්නම්… ස්තුතියි….. හවසට පර්යේෂණාගාරයෙදි හමුවෙමු…..”

විශ්ව තරමක කලබලයෙන් දුරකථනය විසන්ධි කළේ ය.

සියල්ල හොඳින් නිරීක්‍ෂණය කළ පොලිස් නිලධාරියා තරමක සිනහවකින්…..

“පෙම්වතියක් නෑ කිවුවා නේද ?… ඒ කවුද?”

“ආ… ඒ මගේ මිතුරියක්… එකට සේවා ස්ථානයෙ වැඩ කරන්නෙ… අද මට වෝලටර් රීඩ් රෝහලට යන්න ඕන පරීක්‍ෂණ කිහිපයකට.. එයා මාව එක්කගෙන යන්න සැලසුම් කරලා තිබුණා.. ඒක ගැන කතා කරන්නයි ඇමතුවෙ…”

“වෝලටර් රීඩ් රෝහල? ඔබේ සම්බන්ධයක් තිබෙනවද ආරක්‍ෂක අංශ එක්ක? පොලිස් නිලධාරියාගේ කුතුහලය තරමක් වැඩි වුණා…”

“නැහැ… මගේ එකම සම්බන්ධය මම නාවික පර්යේෂණායතනයේ සේවය කිරීම පමණයි..”

“නමුත්, ඇයි ඔබට වෝල්ටර් රීඩ් රෝහලේ පරීක්‍ෂණ කරන්නෙ… ඒක ආරක්‍ෂක අංශවලට වෙන්වූ රෝහලක්…”

“ඒක නම් මමත් දන්නෙ නෑ….. නමුත් මගේ ඇක්සිඩන්ට් එක වෙලාවෙ…..”

“මොන ඇක්සිඩන්ට් එකක්ද?” පොලිස් නිලධාරියා තරමක් බැරෑරුම් වුණා…

“විශ්ව… මට කියනවද සියලුම විස්තර…. මෙතැන අපැහැදිලි තැන් ගොඩක් තියෙනවා… මට මේකෙ කොනක් හොයා ගන්න ඔයා ඔක්කොම විස්තර කියන්න වෙනවා.. නැතිනම් අපි ඔක්කොම අතරමං වෙයි… පෞද්ගලික නිවාසයක මේ වගේ ඉලෙක්ට්‍රොණික උපකරණ සවි කරලා තිබුණ පළමු වතාවවත්, අන්තිම වතාවවත් නෙවෙයි මේක. නමුත්, ඔබ දැනට ත්‍රස්තවාදී සැකකරුවෙක් හෝ එවැනි සංඥාවක් ඔබේ නම ඉදිරියේ ඇති කෙනෙක් නෙවෙයි… ඔබ උගත් බුද්ධිමත් කෙනෙක්.. සේවය කරන්නේ ජාතික ආරක්‍ෂාව අතින් පවා අතිශය සංවේදී ස්ථානයක. ඒ වගේම ඔබ පවසන්න හදපු අනතුර නිසා ඔබව වෝල්ටර් රීඩ් එකටත් සම්බන්ධයි…”

“මම හිතන්නෙ අපි නොදන්න ගොඩක් දේවල් මෙතැන තියෙනවා… අපි යමු පොලීසියට… මම මෙතනට පොලිස් ආරක්‍ෂාව දෙන්නම්…”

“ඔෆිසර්…. අපි මේ ගෙදර තිබිලා මෙන්න මේ පැලෑටි හොයා ගත්තා… මේක මරිජුවානා නම් නෙවෙයි.. නමුත්, මල් පැලයක් වගේ පෙණුමකුත් නැහැ… අලුත් මත්ද්‍රව්‍ය ජාතියක්ද දන්නෙ නැහැ….”

“නිවස පරීක්‍ෂා කළ වෙනත් කණිෂ්ඨ පොලිස් නිලධාරියෙක්, විශ්ව වගා කළ Milk Thistle පැලෑටි අඩංගු පෝච්චියක් රැගෙන ඔවුන් කරා පැමිණියා…”

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

FREE Shipping orders over Rs.1500/= Dismiss