SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 24

“අයිසේ…. තමුසෙලා දෙන්නට මේ වගේ සරළ දෙයක්වත් කරගන්න බැරිද?”

ජනරාල් වෙලිංටන්ගේ ගිගිරුම් හඬ කාමරය පුරා රැව්දෙන්න වුණේ විදුලි කොටන්නාක් මෙන්.

තමන් විසින් කරනු ලබන කිසිදු මෙහෙයුමක් වරදින්නට ඉඩක් නොතබන ජනරාල් වෙලිංටන් සූක්‍ෂම උපායමාර්ග පිළිබද නිපුණයෙක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. මේ නිසා සිය කීර්තිනාමයට කිසිදු කැළලක් වනවාට අකැමැති මෙන්ම, ජන්මයෙන්ම ගෙන ආ අසාර්ථක නොවීමේ උඩඟුතාවය අන් සියල්ලම අභිබවා ඉස්මතු වන්නට විය.

“මම හිතුවෙ නෑ ජෙනී මේ වගේ අසාර්ථක වෙයි කියලා… මේ වෙනතුරු කිසිදු මෙහෙයුමක් අසාර්ථක වුණේ නැති ඔයා කොහොමද මේ වගේ අදූරදර්ශී තීරණ ගන්නෙ?”

අවසානයේ සිය කළකිරීම සඟවාගෙන ජනරාල් වෙලිංටන් ඇයගෙන් ප්‍රශ්න කළේ තවදුරටත් බැනීමෙන් පළක් නොවන බව අවබෝධ කර ගනිමින්.

“ඇත්තෙන්ම අපි මේ දේ කළේ විශ්වගේ හැසිරීම් රටා අධ්‍යයනය කරන්න. විශ්ව කියන්නෙ බයිබලයක් වගේ පොතක්. පිටතින් බොහොම සරළයි කියවන්න… සරළ පුද්ගලයෙක්, නිර්මාංශයි, බොහොම නිවිච්ච ගති පැවතුම් තියෙන කෙනෙක්, නිහඬයි, අවශ්‍යතා බොහොම සීමිතයි, සම්බන්ධතා බොහොම අඩුයි. නමුත්,….”

“ඇයි නමුත් කිවුවෙ.. ? ඊට වඩා වෙනස් දෙයක් තියෙනවද?” ජෙනරාල් වෙලිංටන් කුතුහලයෙන් යුතුව ප්‍රශ්න කළා.

“ඔව්… විශ්ව කියන්නෙ ඊට එහා ගිය මානසිකත්‍වයක් තියෙන කෙනෙක්…” ජෙනී පැවසුවේ බොහොම බැරෑරුම්ව.

“විශ්ව හොඳට භාවනාව වඩන කෙනෙක්, බොහොම නොසැලෙන, ඒ වගේම අධික මානසික ඒකාග්‍රතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙක්. ඒ විතරක් නොවෙයි, එයා ජීවිතේට කිසිම කෙනෙකුගෙ බලපෑමක් ඇතිකරන්න ඉඩ දෙන කෙනෙකුත් නොවෙයි… මේ තාක් මට එයාගෙ ජීවිතයට ලංවෙන්න පුළුවන් වුණේ බොහොම සීමිතව, මේ චරිතය හරියටම පස්වන මට්ටමේ සීඅයිඒ ඒජන්තවරයෙකුගේ පෞරුෂයක් පෙන්නුම් කරන්නෙ… මම දන්නෙ නැහැ මෙයා කිසියම් ඔත්තු සංවිධානයක කෙනෙක්ද කියලා. නමුත් හොඳින් පුහුණු නොවුන සාමාන්‍ය මනුස්සයෙකුට මේ වගේ ඒකාග්‍රතාවයක්, සහ චර්යාවක් පවත්වාගෙන යන්න බැහැ. කොහේ හෝ අතපසුවීමක් සිදු වෙනවා. මම පර්යේෂණාගාරයේදීත් එයා එක්ක සමීපවම කටයුතු කළත්, මට එයාට ලංවෙන්න කිසිම ඉඩක් ලබා දෙන්නෙ නෑ… ඒ කියන්නෙ බොහොම ගැඹුරු මානසිකත්‍වයක් තියෙන්නෙ… එයාව ගැඹුරින් කියවන්න කාටවත් බැහැ… ඒකයි මම කිවුවෙ බයිබලය වගේ කියලා.. පිටතින් බොහොම සරළයි, ගැඹුරින් බොහොම සංකීර්ණයි…”

සියල්ල සාවධානව අසා සිටි ජෙනරාල් වෙලිංටන් මාක් සහ ජේසන් වෙත හැරුණෙ ඊලඟට කළ යුතු දෑ සහ සිදු වූ සිදුවීමේ හානි අවම කිරීමේ උපදෙස් ලබා දීමට… දෙදෙනාගේම මුහුණුවල තිබුණේ බිය මුසු චකිතයක්, මේ මෙහෙයුමේ දී තමන් අසාර්ථක වූ දෙවැනි අවස්ථාව නිසා, කුමකින් කුමක් සිදුවේ දැයි සිතාගත නොහැකිව දෙදෙනාම පසුවුණා… එක්කෝ නැවතත් වොෂිංටන් ඩීසී හි පොලීසියකට අනුයුක්ත වීමට හෝ පහසුකම් අඩු ප්‍රදේශයක රාජකාරි සඳහා යෑමට සිදුවන බව දෙදෙනාටම හැඟීගොස් තිබුණේ සිය සගයන්ට සිදු වූ පෙර අත්දැකීම් අනුසාරයෙන්. වෙනත් පහසුකම් අඩු පළාතකට යෑම, වොෂිංටන් ඩීසී හි පොලිස් ස්ථානයකට යෑමට වඩා රාජකාරිමය ගෞරවයක් බව දෙදෙනාම දැන සිටියේ, සිය වාර්තා පොලීසියට දැනගන්නට ලැබුණු පසු තමන්ට දැක්වෙන කුඩම්මාගේ සැලකිල්ල මතක් වීමෙන්… කිසියම් හෝ ඔත්තු සේවාවක සිට සාමාන්‍ය පොලීසිය වෙත අනුයුක්ත කෙරෙන පොලිස් නිලධාරියෙකු සැලකෙන්නේ සේවයෙන් පහත දැමීමක් ලෙසින්.. එය කිසි කෙනෙකුගේ සේවා වාර්තාවන්ට සුබ පණිවුඩයක් එක් කරන්නේ නැහැ.

“හ්ම්… අපි සාක්කි විමර්ශනය පටන් ගනිමු නේද මහත්මයා…?” විශ්ව හා සංවාදය ආරම්භ කළ උසස් පොලිස් නිලධාරියා සිය පරිගණකය විවෘත කරමින් පැවසුවේ ය.

පොලිස් ස්ථානයට ගිය විශ්ව සිය සේවා හැඳුනුම්පත ඉදිරිපත් කළේ තමන්ගේ කටයුත්ත තරමක් බැරෑරුම් බව දන්නා නිසා, එසේම නාවික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ලෙස සේවය කරන්නවුන්ගේ අධ්‍යාපනික සහ මානසික මට්ටම ආරක්‍ෂක අංශවල ඉහළ තානාන්තරවල අය දැන සිටි නිසාම, විශ්වට තරමක විශේෂ සැළකිල්ලක් ලැබුණි.

“ඔව්… අපි පටන් ගනිමු… මටත් මේක හරියටම මොකක්ද කියලා දැනගන්නයි ඕනෑ….”

“ඔබේ සමාජ ආරක්‍ෂණ අංකය කුමක්ද?”

“666 – 09 – 2940”

සමාජ ආරක්‍ෂණ අංකය (Social Security Number) යනු සංචාරයක් සඳහා හැර, නීත්‍යානුකූලව ඇමරිකාවට පය ගසන ඕනෑම පුද්ගලයෙකුට ලැබෙන අනන්‍යතා අංකයයි. මෙය ඒ පුද්ගලයාගේ ජීවිතය හා සම්බන්ධ සියල්ලටම බැඳී ඇති අංකයක්. රටෙහි සියලුම සේවා පරිගණක ජාලයකට සම්බන්ධව ඇති නිසා, ඒ පුද්ගලයාගේ සියලුම වාර්තා සැණෙකින් සොයා ගැනීමට සමාජ ආරක්‍ෂණ අංකය ඔස්සේ හැකි වෙනවා. එක් එක් ආයතනවලට දී ඇති තොරතුරු ලබා ගැනීමේ මාන මත, අධ්‍යාපනික තොරතුරු, වෛද්‍ය තොරතුරු, මූල්‍යමය වශයෙන් හෝ ආරක්‍ෂක අංශවලට අදාළ තොරතුරු ආදිය ලබා ගැනීමේ හැකියාව විවිධ ආයතනවලට ලබා දී තිබෙනවා. සාමාන්‍යයෙන් උසස් පොලිස් නිලධාරියෙකුට මේ සියලුම දත්ත කිසිදු අවහිරයකින් තොරව ලබා ගැනීමේ පහසුව සලසා ඇත්තේ ඔවුන්ගේ කටයුතුවල පහසුව පිණිසයි.

විශ්වගේ සමාජ ආරක්‍ෂණ අංකය පරිගණකයට ඇතුළු කළ පොලිස් නිලධාරියා සිය වාර්තාවේ අත්‍යවශ්‍ය කරුණු ඉතා ඉක්මනින් කියවාගෙන ගියා. එම වාර්තාව කියවමින් සිටි නිලධාරියාගේ මුහුණේ ඉරියව් කෙමෙන් කෙමෙන් වෙනස්වන අයුරු විශ්ව හොඳින් නිරීක්‍ෂණය කළා… නමුත්, කිසිවක් පැවසුවේ නැහැ…

“හොඳයි…. බොහොම පිරිසිදු චරිතයක්…. අපිත් කැමති ඒ වගේ අයට…”

“අපි ඔබට බල කරන්නෙ නැහැ… ඒත් මේ අවුල ලිහා ගන්නට ඔබ, නාවික පර්යේෂණ ආයතනයේ සංවේදී තොරතුරු හැර, අනෙක් සියල්ල අවශ්‍ය පරිදි, අවශ්‍ය වේලාවට අපත් සමග සාකච්ඡා කළ යුතුයි. නැතිනම් මේක කොතැනින් පටන් ගන්නද කියලා හරි හෝඩුවාවක් අපට ලබාගන්න බැරි වෙනවා.”

පොලිස් නිලධාරියා බොහොම තැන්පත්ව විශ්වට දන්වා සිටියා…

“රික්… මිත්‍රයා… කොහොමද ඔබට?”

සාමාන්‍යයෙන් නියම නමින් සිය මිතුරු අද්මිරාල්වරයා අමතන ජනරාල් වෙලිංටන් සිය මිතුරා වන අද්මිරාල් රිචර්ඩ් බවර්ව කෙටි නමින් ඇමතුවේ තරමක සංවේදී හඬකින්, තමන් කරන දෙයක කොණක් සොයා ගැනීමේ අටියෙන්…

“හොඳින් ඉන්නවා… මොකද මේ ලයින් එකෙන් ආවෙ? ප්‍රශ්නයක්ද?”

“ඔව්……….අපට පොඩි ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නෙ….. ඔබ ආරක්‍ෂිත ස්ථානයක ද ඉන්නෙ?”

“ඔව් චාලි. මම ඉන්නෙ කාර්යාලයෙ… ප්‍රශ්නයක් නෑ කතා කරන්න……. මොකද වෙන්න ඕන?”

“ඔබ දන්නවනෙ විශ්වගේ පස්සෙ අපි ඒජන්තයින් දෙදෙනෙක් දැම්මා විස්තර හොයන්න…”

“ඔව්…. ඒ විතරක් නෙවෙයිනෙ… ජෙනීවත් දැම්මෙ…”

“ඔව්… ඒක තමයි මම කියන්න හදන්නෙ…. අපේ එවුන් දෙන්නා විශ්වගේ ගෙදර කැමරා හයි කරලා… ඒක අද උදේ විශ්ව සොයාගෙන පොලීසියේ පැමිණිල්ලක් දාලා… දැන් මිනිහා පොලීසියේ…”

“හ්ම්…. දිගු හුස්මක් ගත් අද්මිරාල් බවර් සිය නළල කසමින් හිසට අත තබා ගත්තා…”

“දැන් මොකද කරන්නෙ? මේක සරළ කාරණාවක් නෙවෙයි.. දන්නවනේ කෙනෙකුගෙ පෞද්ගලිකවය ආක්‍රමණය කළාම එන ප්‍රශ්න…. !”

“ඒකම තමයි…. අපට මේ වැඩේ සාධාරණීකරණය කරන්න ඕන…. හැබැයි තවම විමර්ශනය පටන් ගත්ත තැනම තියෙන නිසා යමක් කරන්න ලේසියි…. නමුත්, පරිස්සමින්. අපි මේකට සම්බන්ධ වෙනවා කියන්නේ අපේ කීර්තිනාමයට ලොකු කැළලක් වෙනවා. ඒ නිසා අපි වෙනත් උපක්‍රමයක් මේකට යෙදිය යුතුයි…. ඒ වගේම මේක අපේ ක්‍රියාපටිපාටිවලින් බැහැරට ගොස් කරපු දෙයක්… ඒ නිසා අපි උපායශීලී විය යුතුමයි.”

“ඉතින් අද තමයි මගේ පරීක්‍ෂණ වාර්තා සඳහා නැවත ලේ ලබා දෙන්න යන්න හිටපු දවස… නමුත් මේ සිදුවීම නිසා මට ඒ කටයුත්ත මඟහැරුණා… නමුත් මේ වැඩකටයුතු ඉවර වෙලා මම වෝල්ටර් රීඩ් රෝහලට යන්න ඕන.”

තමන්ට සිදු වු සියලුම දෑ පොලිස් නිලධාරියාට නොවලහා පැවසූ විශ්ව අවසානයේ දිගු සුසුමක් හෙළුාව ය.

“ඒ කියන්නෙ ඔබට සැකයි මේ අනතුරත් සැලසුම් කළ අනතුරක් කියලා?”

“ඔව්…. මට දැන්වූයේ ඒ අනතුරින් බීමත් පුද්ගලයෙක් මිය ගිය බව…. නමුත්, කිසිදු පොලිස් නිලධාරියෙක් මේ වනතෙක් මගෙන් කිසිම කට උත්තරයක් ලබා ගැනීමටවත් පැමිණියේ නැහැ… ඒ වගේම ඒ අනතුර සිදු වෙච්ච විදියෙන් කෙනෙක් මිය යනවා නම්, ඒ මා විය යුතුයි… ඒ ට්‍රක් එකට ලොකු අනතුරක් වෙනවා මම දැක්කෙ නැහැ….”

“පොඩ්ඩක් ඉන්න…. ඔබ අනතුර සිදු වූ වෙලාවෙම සිහිනැති වුණා… ඔබ කොහොමද කියන්නෙ ඒ පුද්ගලයා මිය ගියේ නැහැ කියලා? පොලිස් නිලධාරියා එකවරම බාධා කළා..”

“නැහැ… මම එතැනදී සිහි විසඥ වන්නට පෙරයි ඒ දේ දුටුවෙ….මට මුලින් සිතුනෙ මම අනතුර අවස්ථාවේ නින්දට යනවා වගේ හැඟීමක්… කිසිම වෙලාවක මගේ හිසට කිසිම අනතුරක් සිදු වෙලා තිබුණෙ නැහැ… සමහරවිට මගේ සිරුරට සිදු වූ අනතුර නිසා මනස විසින් මාව නිද්‍රාවට පත් කළා ද දන්නෙ නෑ…”

“මොකක්? ඔබ විහිළු කරනවද? ඔබ හිතනවද පරිගණකයක් ක්‍රියා විරහිත කරනවා වගේ අපේ ශරීරයත් හිතෙන හිතෙන අවස්ථාවල ක්‍රියාත්මක කරන්නයි ක්‍රියා විරහිත කරන්නයි පුළුවන් කියල?”

පොලිස් නිලධාරියා මවිතයෙන් පෙරළා විමසුවේ විශ්ව මේ දේ පවසන්නේ සිහිනයෙන් දැයි සිතමින්.

“ඔබ දන්නෙ බොහොම පොඩ්ඩයි මිත්‍රයා…… විශ්ව එහෙම නොකිවුවත්, ඔහු සිතින් තමාටම කියා ගත්තා…..”

“එතකොට ඔබ මේ පැළෑටි සාරය යොදාගෙන සිරුර පිරිසිදු කරන්නෙ ඔබේ සමේ රෝග තත්ත්‍වයක් පාලනයට?” පොලිස් නිලධාරියා සිය පරිගණකයේ ටයිප් කළ විශ්වගේ ප්‍රකාශය දිගේ ඉහළ පහළ යමින් ප්‍රශ්න කළේ වැඩිදුරටත් සිය සැක තහවුරු කර ගැනීමට ය.

“ඔව්… කුඩා කාලයේ සිටම මේ සමේ රෝගී තත්ත්‍වය මට තිබුණා… ඒකට එකම පිළියම වූයේ පෙරදිග වෛද්‍ය ක්‍රමය අනුව සැකසුන මේ පැලෑටි සාරය ඇඟ ගැල්වීම…”

“නමුත්, මේ පැළෑටි බොහොමයක් යොදා ගන්නේ පිළිකා නාශන ගුණ නිසා… පොලිස් නිලධාරියා තමන් සොයාගත් දෑ සමග විශ්වගේ කටඋත්තරයෙන් කොණක් සොයාගැනීමේ අටියෙන් ප්‍රශ්න කළා.”

“ඔව්… මේ පැළෑටියේ ඇටවල පිළිකා නාශක ගුණ තිබෙන බව කියවෙනවා… නමුත්, මෙහි විශේෂ ගුණයක් තිබෙනවා සම ආරක්‍ෂා කරන… මෙන්න මේ ගුණය නිසා තමයි මට මේ පැළෑටිය භාවිත කරන්න වෙන්නෙ… නැතිනම් මගේ සම බොහොම දුර්වර්ණ වෙලා සෙමෙන් සෙමෙන් විකෘති තත්ත්‍වයට පත් වෙනවා… ඔබට පුළුවන් නම් මේකට බටහිර බෙහෙතක් සොයා දෙන්නට, මම බොහොම කැමැත්තෙන් මේ ප්‍රතිකාරය නවත්වනවා.”

පොලිස් නිලධාරියා කට කොණකින් සිනා සී…

“හොඳයි… අදට ඇති…. ඔබ දැන් රෝහලට යා යුතුයි…. නැතිනම් ඔබේ පරීක්‍ෂණ වේලාව අපතේ යනවා… අපි අවශ්‍ය වුණොත් ඔබට නැවතත් කතා කරන්නම්… නමුත්, ඔබ අමතක කරන්න එපා අප මේ පිළිබඳ හොඳින් සොයා බලන බව… දැනටමත්, අපි අපේ රහස් පරීක්‍ෂක කණ්ඩායමකට මේ බව දැනුම් දීලයි තියෙන්නෙ… මොකද කියනවා නම්, මේ උපකරණ තරමක් නවීන උපකරණ.. මේවා සමහරවිට වැරැදි පුද්ගලයෙක් අතට ගියොත් ජාතික ආරක්‍ෂාවට පවා තර්ජනයක් වෙන්න පුළුවනි. කෙනෙක් තව කෙනෙක් නිරීක්‍ෂණය කරන හේතු කිහිපයක් තිබෙනවා. නමුත්, මේ සිදුවීම විකෘති මානසිකත්‍වයක් ඇති කෙනෙකුගේ ඒක පුද්ගල ක්‍රියාවක්ද, එහෙමත් නැතිනම් ඔබේ යමක් සොයා ගන්නට රහස් සංවිධානයක මූලිකත්‍වයෙන් සිදු වූ යමක්ද කියලා සොයා ගන්න වෙනවා. මොකද රුසියාව සහ චීනය දැනටමත් අපේ යම් යම් ස්ථානවලට ඇතුළු වෙන්න ක්‍රම සොයමින් ඉන්නෙ… ඔබට මම අමුතුවෙන් මේ දේවල් කියා දිය යුතු නැහැ…”

“බොහොම ස්තූතියි අපට මේ තොරතුරු ලබා දුන්නාට, ඔබට දැන් යන්න පුළුවන්….”

සිය කට උත්තරය ලබා දුන් විශ්ව පොලිස් ස්ථානයෙන් පිටත් වූයේ තමන්ගේ වාහනයේ නැගී වෝල්ටර් රීඩ් රෝහල වෙත යෑමටයි.

සිය වාහනයට නැග එය ක්‍රියාත්මක කිරීමට සැරසුන විශ්වට පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණෙන හුරු පුරුදු මුහුණක් ඇති යුවතියක් දැක සිය කටයුත්ත එකවරම අමතක වී ගියා.

“මෙයා මොකද පොලීසියෙ කරන්නෙ මේ වෙලාවෙ? මාව ලුහුබඳිනවා වත්ද?”

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

FREE Shipping on orders over Rs.1500/= Dismiss