
පිටස්තරයා 25
පොලිස් ස්ථානයෙන් පිටතට ගිය යුවතිය පිළිබඳ නැගුන කුතුහලයෙන් විශ්ව අන්දමන්දව සිටිත්දී තමන් මේ දකින්නේ හීනයක් දැයි තවමත් සිතාගත නොහැකි කරුණු රාශියක් ඒ වටා සිදුවෙමින් තිබීම නිසා විශ්වට කුමක් කරන්නේ දැයි සැලසුම්කරගත නොහැකි වුණා.
සමහරවිට මේ සියල්ල ඇගේ අනුදැනුම පිට සිදු වූවක්ද? එසේත් නැතිනම් තමා බෙහෙවින් විශ්වාස කළ ඇය තමන්ටත් පිටුපා වෙනත් කිසිවෙකු සමග එකතු වී ද? එසේත් නැතිනම් ඇය තමන්ට නොපෙන්වන වෙනෙම ජීවිතයක් ගත කරන කෙනෙක්ද? සියල්ල පැටලුණු විශ්ව නැවතත් ඇය දෙස බැලුවා.
සැබැවින්ම ඒ ඇයයි…. නමුත් තමා පෙර නොදුටු නවීන පන්නයේ ෆෝඩ් මස්ටැංග් කාර් රථයක් තුළට ඇය ගොඩවීමෙන් ඈ පිළිබඳ වූ කුතුහලය තවත් වැඩි වුණා.
“මාත් එක්ක මෙච්චර වැඩ කරපු මෙයා කවදාවත් මේ ගැන මට කියලා නෑනෙ.. ?” විශ්ව තමන්ටම කියා ගත්තා.
“කෝකටත් පස්සෙන් ගිහින් බලන්න ඕන….” එසේ කියාගත් විශ්ව ආගන්තුක වාහනය පිටුපස යෑමට පටන් ගත්තා.
D මාවතෙන් දෙවන මාවතට පිළිපන් කාරය නැවතත් මැසචුසෙට්ස් මාවතට එකතු වුණා. එතරම් මාර්ග තදබදයක් නැතත්, විශ්වට ඒ වාහනය කුමක්දැයි සොයා ගැනීමට අපහසුවක් වූයේ නැත්තේ වෙනත් එවැනි රථයක් මාර්ගයේ නොතිබූ නිසා. මැසචුසෙට්ස් මාවතේ දිගටම යන වාහනය පසුකර ගොස් එහි සිටින්නේ කවුරුදැයි සොයා ගැනීමට විශ්ව සැලසුම් කළා. එවිටම සිය දුරකථනය නාද වීමෙන් තවත් කළබලයට පත් වූ විශ්ව සිය දුරකථනය අතට ගත්තේ අවට පොලිස් නිලධාරීන් සිටියහොත් හෝ තමන් දුරකථනයට කතා කරනු පොලිස් කැමරාවල සටහන් වුවහොත් තමන්ට විශාල දඬුවමක් විඳින්නට සිදුවන බව දන්නා නිසා. කෙසේ වුවත්, තමන් බලාපොරොත්තු වූ කෙනෙකුම අනෙක් පසින් සිටින නිසා මෙය තමන් කතා කළ යුතු ඇමතුමක් බව ඔහු දැන සිටියා. සිය දුරකථනය බ්ලූ ටූත් මාර්ගයෙන් වාහනයේ රේඩියෝ පද්ධතියට සම්බන්ධ කර ඇති නිසා, ඔහු දුරකථනය ක්‍රියාත්මක කළා.
“හලෝ…”
“හලෝ විශ්ව… ඔයා කොහෙද? මම දෙතුන් වතාවක් කතා කරන්න බැලුවා… අන්තිම වතාවට ඔයා මට පස්සෙ කතා කරන්නම් කියපු නිසයි මම මේ බැලුවෙ… කවදාවත් ඔයා ඔහොම මට කතා නොකර ඉන්නෙ නෑනෙ….”
අනෙක් පසින් කතා කළ මොලී නෝක්කාඩුවෙන් මෙන් මැසිවිලි නැගුවා.
“මොලී මම පොඩි පටලැවිල්ලකයි ඉන්නෙ… මට මේක දුරකථනයෙන් විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි….”
“අනේ විශ්ව…. ඇයි මට නොකිවුවෙ? මම ඔයා වෙනුවෙන් කොච්චර වෙහෙස වුණාද? ඇයි ඔයාට විශ්වාස නැද්ද කරදරයක් වුණාම කියන්න? මම ඔයා ලොකුම කරදරේ වැටුණ වෙලාවෙත් ළඟ හිටිය එකම කෙනා නෙ…?”
“ඇත්ත මොලී… ඒ වුණාට මට හිතා ගන්න බැහැ මොනවා කරන්න ද කියලා… මට මීට පෙර සිදු වෙච්ච නැති දෙයකුයි සිද්ධ වුණේ…. ඒකයි මම පොලීසියට ගියේ….”
“පොලීසියට? පොලීසියට යන්න තරම් කරදරයක් වෙලත්… ඇයි මට නොකිවුවෙ? ඔයාට මාව විශ්වාස නැද්ද විශ්ව? ආයෙම මොලී බොහොම දුක්බර විලාශයෙන් ඇහුවා….”
“මොලී…. ඔයා දැන් කොහෙද ඉන්නෙ?” විශ්ව සිය කතාව වෙනතකට යොමු කළේ වෙනත් යමක් දැන ගැනීමේ අටියෙන්…
ඉදිරියෙන් යන වාහනයත් තවමත් සිය දෑස මානයේ තිබෙන නිසා සිය සැකය තහවුරු කර ගන්න හොඳම අවස්ථාව මෙය යැයි ඔහුට හැඟුණා.
“විශ්ව, මම දැන් ලැබ් එකේ ඉඳලා මගේ එපාට්මන්ට් එකට යන ගමන්, කාර් එකේ ඉන්නෙ… අද උදේ ඉඳලා ඔයා මට කතාකරයි කියලා බලාගෙන හිටියෙ… උදේ ඔයා වෝල්ටර් රීඩ් එකට යන්න ඕන නේද?”
දැන් විශ්වට සිය සැකය තරමක් තහවුරු වෙමින් තිබෙනවා…
“ඇත්ත… මට වෝල්ටර් රීඩ් යන්න තිබුණෙ අද උදේ…. නමුත් වෙනත් වැඩක් යෙදුන නිසා මම ඒක හවසට කල් දැමුවා… දැන් මම පොලීසියේ ඉඳලා ගෙදර යන ගමන්….”
“ඇයි පොලීසිය? ගෙදර මොකක් හරි කරදරයක්ද? මට කියන්න බැරි යමක්ද? විශ්ව… ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද? මොලී තුන්වන වතාවටත් ඇහුවා….”
“අවිශ්වාස නෑ… ඒත් මට මේ ප්‍රශ්නය මම විසින්ම විසඳගන්න ඕන වුණා… ඒකයි මම කාටවත් කතා නො කළේ….”
“හරි… කමක් නෑ,.. දැන් ප්‍රශ්නය විසඳිලා ද? දැන් මම එන්න ද ඔයාව බලන්න? ඇගේ ස්වරය තරමක් දැඩි වුණා….”
“විශ්ව කල්පනා කරන්නට වුණා…. තමන් දැන් සිටින තැන ඉඳලා එපාට්මන්ට් එකට ඇත්තේ විනාඩි දහයක පමණ දුරක්, මේ ලුහුබැඳීම නවත්වලා එතැනට ගියොත්, ඇයව අතටම අල්ලාගැනීමේ හැකියාවත් නැති වනවා…. මේ නිසා ඇයට ඉඩක් නො දිය යුතුයි….. කෙතරම් සාන්තුවරයෙක් වුවත්, සමහරවිට තමන්ගේ අකාරුණික බව ඉස්මතු වන බව ඔහුටම දැනුණා…”
“නැහැ… මට විනාඩි විස්සක් පමණ දෙන්න… මම එනකොට පොඩ්ඩක් පරක්කු වේවි…. ඔයාට පුළුවන් නම් ඇවිත් ඉන්න…. සිය රථයේ වේගය වැඩිකරමින් මොලීට කතා කළ විශ්ව දුරකථනය විසන්ධි කළා.”
“අද දෙකෙන් එකක් විසඳගන්න වෙනවා…. එක්කෝ මේ කට්ටිය… නැතිනම් මම… මට නිකං ඉන්න නො දුන්නට ගන්න පුළුවන් උපරිම පලිය ගන්නවා….”
මස්ටෑංග් රථය මැසචුසෙට්ස් මාවතෙන් විස්කොන්සින් මාවතට හරවද්දී රථයේ ඉදිරිපස වාඩි වී සිටි තරුණිය විශ්ව හොඳින්ම දුටුවා. ඒ ඇය බව හඳුනාගැනීමට තවත් සාක්‍ෂි අනවශ්‍ය වුණා. කෙසේ වුවත්, සිය සැකය තහවුරු කර ගැනීමට මේ ගමනේ අවසානය තෙක් යා යුතු බව ඔහු අදිටන් කරගෙන මස්ටෑංග් රථය පෙනෙන නොපෙනන මානයේ එය පසුපස විස්කොන්සින් මාවත දිගේ පදවාගෙන ගියා. මේ අතර නැවතත් මොලීගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු විශ්ව තරමක් විපිලිසර වුවා.
“ඇයි මොලී? මම කිවුවනෙ දැන් තව ටිකකින් එනවා කියලා….”
“විශ්ව මම තව විනාඩි දහයකින් ඔයාගෙ එපාට්මන්ට් එක ලඟ…. අපට වෝල්ටර් රීඩ් එකට දෙන්නම එකට යන්න පුළුවන් වේවි…”
“මොලී… මට තව ටිකක් වෙලා යනවා… මම පොඩ්ඩක් පරක්කු වේවි…. ඔයාට පුළුවන් නම් තව පැය බාගයක් මට දෙන්න… ඒක ලොකු උදව්වක්…”
“විශ්ව… මම දන්නෙ නැහැ ඔයා මොනවා කරනවද කියලා… නමුත්, මට පේන්නෙ ඔයා බොහොම කලබල වෙලා වගේ…. මගේ ඇමතුම් ඔයාට කරදරයක්ද? ඔයා නැතිනම් අවුලක පැටලිලා ද ඉන්නෙ…? කමක් නෑ… වාහනය පදවන අතරේ කතා කරන්න එපා… ඔයා නිදහස් වුණ ගමන් මට කතා කරන්න… ඊට පස්සෙ මම එන්නම්…..”
මේ අතරේ විශ්වත්, විශ්ව ඉදිරියෙන් ගමන් කරන රථයත්, ජෝර්ජ් වොෂිංටන් අනුස්මරණ මාවත ඔස්සේ වර්ජීනියාහි ලැංග්ලි පෙදෙසට ගමන් කළා. එතැන ඇත්තේ ලොව බොහෝම ප්‍රකට ඔත්තු සේවා මූලස්ථානය. සී අයි ඒ මූලස්ථානය.
සීඅයිඒ මූලස්ථානය වෙත හැරවූ මස්ටෑංග් රථය, ගේට්ටුව අසල නැවැත්වූවා. ඒ අසලටවත් යෑමට විශ්වට හැකියාවක් නැති නිසා, ජෝර්ජ් වොෂිංටන් අනුස්මරණ මාවත ඔස්සේ විශ්ව දිගටම ගමන් කළේ වෙනත් කිසිවක් කිරීමට නොහැකි නිසා.
“ඇත්තෙන්ම මොලී සීඅයිඒ ඒජන්තවරියක්ද?” විශ්ව තමාගෙන්ම අසා ගත්තා… ඇයි එහෙනම් ඒ ගොල්ලො මගේ පස්සෙ පන්නන්නෙ? මම මොකද්ද කරපු වැරැද්ද?”
අතුරු පාරකින් හැර වූ විශ්ව තමන්ගේ රථය අයිනක නවතා කල්පනා කළේ කුමක් කරන්නද කියා… මෙතැන සිට තමන්ගේ නිවහනට අවම වශයෙන් විනාඩි තිහක දුරක් ඇති බව ඔහු සිය ගූගල් සිතියම ආධාරයෙන් සොයා ගත්තා… ඇය මෙතැන සිටී නම්, ඇය තමන්ගේ නිවහනට පැමිණෙන කාලය අනුව සොයාගතහැකි බව ඔහු අවබෝධ කර ගත්තා…. ඇගේ නිවහනේ සිට විශ්වගේ නිවහනට ඇත්තේ විනාඩි දහයක වැනි කෙටි කාලයක්…
හැකි කෙටිම පාරෙන් නිවසට ලඟා වූ විශ්ව බොහෝ ව්‍යාකූල වූ සිතකින් මොලීට ඇමතුවේ මේ සියල්ලේම කොණක් සොයා ගැනීමටයි.
“මොලී…. ඔයාට දැන් එන්න පුළුවන්ද මගේ එපාට්මන්ට් එකට?”
“විශ්ව…. මේ දැන්?”
“ඔව්… මට ඔයාට ඉක්මනින්ම කතා කරන්න ඕන… කරන වැඩ සියල්ලම දාලා දැන් එන්න මාව හමුවෙන්න… මට ඉතාම අවශ්‍යයි ඔයාට කතා කරන්න…”
“හොඳයි… මම දැන්මම එනවා….”
ඉන් අනතුරුව ගත වූ කාලය විශ්ව ගණන් කළේ තත්පරයෙන් තත්පරයට… සිය නවාතැන් සංකීර්ණයේ ආලින්දයේ පුටුවක වාඩි වූ විශ්ව සිය ජංගම දුරකථනයේ තිරය දෙස බලාගෙන කාලය ගණන් කළේ කිසිදු අරමුණකින් තොරවයි. කවදාවත් නොමැති ආකාරයට තමාගේ චිත්ත ඒකාග්‍රතාවය සහ චිත්ත සංයමය බිඳී ඇති බව විශ්වට වැටහුණා. තමාගේ සැකය හරි නම්, මොලීට මෙතැනට පැමිණීමට අවම වශයෙන් පැය බාගයක්වත් යනු ඇති.
එහෙත්, විශ්වගේ සැකය දුරු කරමින් මොලී විනාඩි අටක් තුළ විශ්වගේ නවාතැන වෙත පැමිණියේ විශ්ව තවදුරටත් ව්‍යාකූල කරවමින්… නමුත්, ඇය හැඳ සිටියේ පොලිස් ස්ථානයේ දී මස්ටෑංග් රථය වෙත නැගි තරුණිය හැඳසිටි ඇඳුම් නොවන බව විශ්ව එකවරම හඳුනා ගත්තා.
“මොකද එකපාරටම පුදුම වෙලා බලාගෙන ඉන්නෙ? මොලී විශ්ව වෙත පැමිණෙමෙන් ඇසුවෙ බොහොම ලෙන්ගතුව…”
“ඔයා ඉන්නෙ ලොකු කලබලයකින් විශ්ව…. යමු… ඇතුළට ගිහින් කතා කරමු….” විශ්වගේ උරහිස මෘදුව මිරිකමින්, විශ්වගේ දෑස් දෙස බලාගෙන මොලී සෙමෙන් ඔහු ඇමතුවා.
කිසිවක් නොකියූ විශ්ව, විදුලි සෝපානයේ බොත්තම තද කළේ, තමන්ගේ උපකල්පන සියල්ලම වැරැදී ගිය බවත්, නිරපරාදයේ මොලීව සැක කළ බවත් සිතමින් වූ පරාජිත හැඟීමෙන්.
මොලී… මේ කිසිවක් නොදන්නාක් මෙන්, බොහෝ අනුකම්පාසහගත හැඟීමෙන් විශ්ව දෙසම බලාගෙන සිටියා.
විශ්ව නිවසේ දොර හැරි විගසම, ඔහු වෙතට පැමිණි මොලී.
“මගේ අසරණ කොල්ලා… කියමින් විශ්ව වැළඳගත්තේ විශ්වට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබමින්….”
සදාකාලික තනිවූ හැඟීමකින් කල් ගෙවූ විශ්ව… කවදාවත් කිසිවෙකුටත් ස්පර්ශ කිරීමට ඉඩ නොදුන් සිය සිරුර මොලී වෙතට වාරු කළේ බිංදුවටම වැටුණු ආත්ම විශ්වාසය බිමට වැටෙන්නට නොදී රඳවා ගැනීමට.
෴