SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 26

“මට හිතාගන්න බෑ මොලී ඇයි මම ඔයාව සැක කළේ කියලා……”

උදාසන සිට සිදු වූ සියල්ලම පවසා අවසානයේ විශ්ව මොලීගෙන් සමාව අයැදුවේ ඉතාම බැගෑපත්ව ය.

මොලී ඒ සියල්ල සාවධානව අසා සිටියා මිසක්, කිසිදු වෙනසක් හෝ වදනකින් හෝ යමක් එකතු කළේ නැත. නමුත් ඇය ඉතා ගැඹුරු  කල්පනාවක නිමග්න වී සිටියා ය. තමා මුලින් ව්‍යාජ ඇඟෑලුම්කමක් පෑවත්, කෙමෙන් කෙමෙන් විශ්වගේ ලොවට ඇතුළු වී ඇති බව ඇයට හැඟී ගියා ය.

“එහෙම තමයි විශ්ව…. මේ ලෝකෙ තනි වුණාම, තමන්ගේ හිතේ තියෙන දේ කියන්න කෙනෙක් නැති වුණාම, හිත බොහොම චංචල වෙලා ලෝකෙ නැති දේවල් ගැන හිතනවා… මේකත් ඒ වගේ එක හිතළුවක් වෙන්න පුළුවනි… දැන් මම හිතන්නෙ ඔයාගෙ හිත බොහොම සැහැල්ලුයි..නේද?. අපි දැන් වෝල්ටර් රීඩ් එකට යමු…. ඔයා තවම දවල්ට කාලත් නැහැ නේද? මටත් බඩගිනියි… අපි මගදි මොනවාහරි ගනිමු….”

හැමදාම තනියම හැමදේම කරගන්නා විශ්ව, අද මොලීගෙ කීමට අවනත වී සිය රෝග ඉතිහාසය සහිත ෆයිල් කවරයත් රැගෙන මොලී එක්කම නිවාස සංකීරණයෙන් පිටතට පැමිණියේ ය.

“දැන් ජෙනී කොහෙද?” ජෙනරාල් වෙලිංටන් මාක් සහ ජේසන්ගෙන් විමසුවෙ ඇයගේ හෝඩුවාවක් නොදැකපු නිසා ය.

“ජෙනී දැන් ඉන්නෙ විශ්ව එක්ක… ඒ දෙන්නා වෝල්ටර් රීඩ් එකට යනවා විශ්වගේ සායන කටයුතුවලට….”

“හොඳයි…. එතකොට දැන් පොලීසිය මොකද කියන්නෙ?” එතන සිටි සුසෑන් නම් ඒජන්තවරියගෙන් ජෙනරාල් වෙලිංටන් විමසුවේ ඉදිරිය සැලසුම් කරන්නේ කෙසේදැයි සිතමින්.

“ජෙනරාල් තුමනි, පොලිසියට කාරණේ පැහැදිලි කළා, ඒ නිසා පොලීසියෙන් ප්‍රශ්නයක් නැහැ, නමුත්, පොලීසියට දැන් තිබෙන ප්‍රශ්නය තමයි මේක කුමක්ද කියලා විශ්වට හරියටම පැහැදිලි කරලා දෙන එක…. ඔහු තරමක් විශ්ලේෂණාත්මකව හිතන කෙනෙක් නිසා හරියටම විස්තරයක් දැනගැනීම අවශ්‍ය වේවි… පොලීසියට ගොතන්න කතාවක් නැහැ… නමුත් පොලීසියෙන් කියලා තිබෙනවා ඔහු නාවික පර්යේෂණ ආයතනයේ සේවය කරන නිසා විදෙස් ඔත්තු සේවයක් ඔහුව නිරීක්‍ෂණයට කැමරා සවි කළ ද යන්න සැකයක් බව… සමහරවිට අපට ඒ ඔස්සේ කතාවක් ගොනුකරලා මේක ඒ පිටින් යවන්න පුළුවන් වේවි….”

“ඔබ හිතනව ද විශ්ව ඒ කතාව විශ්වාස කරයි කියලා?” මාක් සුසෑන්ගෙන් ඇසුවේ අවිශ්වාසය පෙරදැරිව ය.

“දැන් එයා ඉන්න තත්ත්‍වය අනුව ඒ දේ විශ්වාස කරන්න බැරිකමක් නැහැ… අපට ජෙනීවත් මේක එයාට ඒත්තු ගන්වන්න යොදා ගන්න පුළුවන්… නමුත් දැනටමත් ජෙනීගේ වෙස්වලාගැනීම විශ්වට තේරුම් ගිහිල්ල නම්, සියල්ලම වතුරෙ… අපි කෝකටත් ජෙනීට කතාකරලා බලමු….”

“එහෙනම් මම විශ්ව ඇතුලට එක්කරගෙන යන්නම්…. මොලී මෙතැන ඉන්න….” වෛද්‍ය ගීතිකා රෝහලේ පර්යේෂණ අංශය තුළට විශ්ව එක්කරගෙන ගියේ මොලී ආලින්දයේ තනිකරමිනි. ඒ සමගම ඇගේ දුරකථනය නාද වූයේ ඇය තුළ තිගැස්මක් ඇති කරවමිනි.

දුරකථනය අතට ගත් මොලී සිය සහායිකාව සුසෑන්ගේ අංකය හඳුනාගත්තා ය.

සූසෑන් යනු මොලීගේ හැඩරුවට සමාන ඇය හා එකම දෙපාර්තමේන්තුවේ කටයුතු කරන රහස් ඔත්තු සේවිකාවකි. බොහෝ වේලාවට දුරට දෙදෙනාම එක හා සමාන හැඩරුව, ගමන් විලාසය සහ චර්යා ඇති දෙදෙනෙකු වූ හ. මෙය ස්වභාවිකව සිදු වූවක් නොවුණු අතර, රහස් ඔත්තු සේවාවන්හි මෙවැනි ද්විත්ව චරිත බොහෝවිට යොදා ගැනේ. සිය ඉලක්ක වික්‍ෂිප්ත කර නොමග යැවීමටත්, එකිනෙකාගේ ආරක්‍ෂාවටත් මෙවැනි චරිත යොදා ගැනේ. උදාසන විශ්වගේ නිවසේ තිබී සිය කැමරා සහ නිරීක්‍ෂණ උපකරණ විශ්ව සොයා ගන්නා විට සහ පොලීසිය එයට මැදිහත් වෙද්දී, පොලීසියේ කටයුතුවලට අත පොවා ඒ සියල්ල සමනය කරන්නට පොලීසියට ගොස් සිටියේ සුසෑන්ය‍. මේ බව නොදත් විශ්ව ඈ පිටුපස හඹා ගියේ ඒ මොලී බවට වූ විශ්වාසය මත ය. කෙසේ වුවත්, ඉතා ඉක්මනින්ම මේ තොරතුරු මොලී, මාක්, ජේසන්, සහ සුසෑන් අතර හුවමාරුව වූ නිසා කිසිදු සැකයක් විශ්වගේ සිතෙහි ජනිත නොකර සියල්ල සාමාන්‍ය පරිදි සිදුකරගැනීමට ඔවුන්ට හැකි විය.

“හලෝ… මේ ජෙනී කතා කරන්නෙ… ඇයි සුසෑන්?”

“ජෙනී…. මොකද තත්ත්‍වය? ආරක්‍ෂිතව කතා කරන්න පුළුවන්ද?”

“කිසි ප්‍රශ්නයක් දැනට නැහැ… අපි සැලසුම් කළ විදිහටම තමයි එයා හිතාගෙන ඉන්නෙ… මම ඉක්මනින්ම එයාව දකින්න ගිය නිසා කිසිම සැකයක් නැහැ… දැන් ඇතුළට ගියා පරීක්‍ෂණවලට… මම මේ වැඩ ඉවර කරගෙන එයාව එයාගෙ නවාතැනට ගෙනැවිත් ඇරලවනවා. අද ඉඳලා අපට එතැන නිරීක්‍ෂණය කරන්න බැරි වේවි.. නමුත් මේ දක්වා අපට හොඳ දත්ත තිබෙනවා… මම බලන්නම් මොකද කරන්න පුළුවන් කියලා… පොලීසියේ ප්‍රශ්නයක් නැහැ නේද?”

“ඒක තමයි අපි කතා කළේ… පොලීසියේ දැනට ප්‍රශ්නයක් නැහැ. පොලීසිය අපිත් එක්ක කටයුතු කරන්න එකඟ වුණා. නමුත්, විශ්වට විශ්වාස කරන්න පුළුවන් කතාවක් අපි ගොතන්න ඕන.. නැතිනම් ප්‍රශ්නය දුරදිග යනවා… අපට බැරිද රුසියානු ඔත්තු සේවාවක් මේකට ගාව ගන්න?…” සුසෑන් විමසුවේ තම ජ්‍යේෂ්ඨ සහායිකාවගේ දුරදක්නා නුවණ ගැන විශ්වාසය තබමින්.

“පුළුවනි…. අපට පුළුවනි දිමිත්‍රි වගේ කෙනෙක් බිල්ලට දෙන්න….. එහෙම කරලා ප්‍රශ්නය CIA එකටම භාර දෙමු…. මට දැන් මේ ගැන දුර දිගට වැඩ කරන්න අමාරුයි… නමුත්, මම විශ්ව නවාතැනට ඇරලපු ගමන්ම කාර්යාලයට එන්නම්, ඊට පස්සෙ අපි සැලසුම් කරමු, කෝකටත් දිමිත්‍රිට මේ ගැන කියලා තියන්න…. මොලී සිය සැලසුම තවදුරටත් විස්තර කරමින් දිගු සාකච්ඡාවක් පවත්වා සිය දුරකථනය විසන්ධි කළා ය.”

“ඇයි මේ තරම් මගෙන් ලේ ගන්නෙ ගීතිකා? මොකද්ද ප්‍රශ්නය?”

විශ්ව ගීතිකාගෙන් විමසුවේ මේ වනවිට හය හත් වතාවක්ම සිය රුධිර සාම්පල පරීක්‍ෂාවට ලක් කළ නිසා ය.

“විශ්ව, මානසික  සහ භෞත චිකිත්සකයෙක් හැටියට මට ඒ ගැන යමක් කියන්න අමාරුයි. නමුත්, ඔයාගෙ ජීවිතය බේරගන්න මේ රෝහලෙන් දීපු බෙහෙත් තරමක් සැර වැඩි බෙහෙත් විය හැකියි…. බොහෝ වෙලාවට ඒ නිසා මේ අය ඔයාගෙ ශරීරයට මේ බෙහෙත් අගුණ ද, වෙනත් ප්‍රතික්‍රියා තිබෙනව ද කියලා බලන්න රුධිර පරීක්‍ෂා කරනවා. ඒ ගැන බය වෙන්න එපා… සමහරවිට ඔයාගෙ රුධිරයේ වෙනත් දෙයක් තිබුණත් මේ පරීක්‍ෂාවෙදි අහුවෙනවනෙ… ඒකත් හොඳ වෙන්න පුළුවනි…. නමුත් ඔයා බය ‍වෙන්න අවශ්‍ය නැහැ. දැන් මේ ලේ බිංදු කීපයෙන් ඔයා වෙනුවෙන් කරන්න අවශ්‍ය සේරම පරීක්‍ෂණ කෙරෙනවා.”

“දැන් බලන්න මේ ස්කෑන් එක දිහා… ඔයාගෙ කකුල දැන් සම්පූර්ණයෙන්ම හොඳයි. අස්ථි සියල්ලම හොඳින් යා වෙලා…… නමුත්, මට පේන විදිහට, සමහර විට අපට අස්ථි සවි වෙන්න දාපු ටයිටේනියම් තහඩු සහ ඇණ ඉවත් කරන්නත් වේවි… මේක හොඳ දෙයක්, අස්ථියක් මේ තරම් ඉක්මනින් සවි වෙනවා කියන්නෙ ඉතා සුභදායක ප්‍රවෘත්තියක්, නමුත් ඒ හා සමානවම අපට අලුත් ප්‍රශ්නයක් පැණ නගිනවා, ඇයි ඔබේ ශරීරය තනන අලුත් පටක එක්ක ටයිටේනියම් තහඩු හා නොවන්නෙ ඇයි ද කියලා… සමහරවිට අපට අලුතෙන් ශල්‍යකර්මයක් කරන්න වේවි මේ ආගන්තුක ද්‍රව්‍ය ඔබේ ශරීරයෙන් ඉවත් කරන්න… මමත් මේ ගැන හොඳින්ම දැක්කෙ දැන්… කෝකටත් අපි ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා හමුවෙලා බලමු… සමහරවිට ඔයාට අද දවසෙම පරීක්‍ෂණවලට යොමු වෙන්න වේවි…”

විශ්ව දිගු සුසුමක්  හෙළුවා… “මට මේක මොලීට කියන්න ඕන… නැතිනම් එයා මං එනතුරු ලොබියෙ සෑහෙන වෙලාවක් ඉඳීවි…..”

“ඉන්න… මම පණිවුඩයක් යවන්නම්, එයා මෙතැනට ගෙන්නලා විස්තර කියලා යවමු….” ගීතිකා යෝජනා කළා ය.

එතැනට මොලී පැමිණෙනතෙක් විශ්ව සිටියේ සිය කකුලේ ස්කෑන් ඡායාරූප පරීක්‍ෂා කරමිනි. තමන්ගේ ශරීරය කිසිදු ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළත් කර නො ගන්නා බව තමන් දන්නා නමුත්, ඒ දේවල් වෛද්‍යවරුන්ට පවසන්නේ කෙසේ දැයි සිතමින් ඔහු සිය ස්කෑන් ඡායාරූප පරීක්‍ෂා කළේ ය. ඉක්මනින්ම සුව වූවත්, නැවතත් ශල්‍යකර්මයකට භාජනය වී සිය සිරුරේ වූ ටයිටේනියම් ඇණ සහ තහඩු සියල්ල ඉවත් කිරීමට සිදුවිය හැකි බව සිතුන ඔහුගේ සිත තරමක් චංචල විය‍. ඒ සිතිවිල්ල බිඳ වැටුණේ මොලීගෙ සියුමැලි ස්පර්ශයෙන් සහ ඇමතුමෙනි.

“ඇයි විශ්ව? මොකක් හරි ප්‍රශ්නයක්ද?” ඇය විමසුවෙ බොහොම ලෙන්ගතුකමිනි.

“නැත්තෙත් නෑ.. ඇත්තෙත් නෑ…”

“ඒ මොකක්ද ඒ හතරබීරි කතාව?” ගීතිකා ඇසුවෙ නැවතත් ඔවුන්ට එක්වෙමිනි.

“ඒ කිවුවේ……. මගේ කකුල හොඳ වේගෙන යනවා ඉක්මනට…. ඒක හොඳ දෙයක්… නමුත් දාපු ඇණ සහ තහඩු එක්ක මට ජීවත් වෙන්න බෑ කියලා ඒවා ප්‍රතික්‍ෂේප කරනවා මගේම ඇඟ…. ඒක නරක දෙයක්…”

“ඒ කොහොමද ඒක වෙන්නෙ? මම දන්න බොහොමයක් දෙනා අවුරුදු දහය විස්ස ටයිටේනියම් කොටස් ඇඟ ඇතුළෙ තියාගෙන ජීවත් වෙනවනෙ……” මොලී විපිලිසර වූයේ එවන් කතාවක් ඇය ඇහුවෙ එදා ම නිසා ය.

“ඒක තමයි අපටත් තියෙන ප්‍රශ්නෙ… මෙයා මෙච්චර කලක් හොඳට ඉඳලා, දැන් දැන් මේ අමතර කොටස් ප්‍රතික්‍ෂේප කරන්නෙ ඇයි කියන එක…..” හිනාවෙමින් ගීතිකා පැවසුවත්, සියල්ලෝ මේ සිදුවීමෙහි බැරෑරුම්කම දුටුව හ. මේ නිසා විශ්වට නැවතත්, රෝහලේ දින කීපයක් නැවතී ප්‍රතිකාර ගන්නට සිදු වන බවත්, බැරෑරුම් නොවුණත්, ඒ ශල්‍යකර්මයෙන් පසුව සති කිහිපයක විවේක ගැන්වීමකට ලක්විය හැකි බවත් ගීතිකා විස්තර කරද්දී, විශ්වගේ මුහුණෙ තිබුණෙ එතරම් සතුටුදායක හැඟීමක් නොවේ.

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

FREE Shipping on orders over Rs.1500/= Dismiss