SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 27

“තව ටික දවසක් විශ්වට රෝහලේ ඉන්න සිදු වේවි…. මොකද කියනවා නම්, එයාට නැවතත් ශල්‍යකර්මයක් කරන්න වෙනවා…. ඒ විතරක් නෙවෙයි ඉස්සරට වඩා දැඩි පුනරුත්ථාපනයකට යන්න සිදු වේවි… එයාගෙ කකුලට පිටතින් යෙදූ ටයිටේනියම් තහඩු සහ ඇණ ශරීරයෙන් ප්‍රති‍ක්‍ෂේප කරන්න පටන් අරන්…. තත්ත්‍වය හිතුවට වඩා තරමක් බරපතලයි. නමුත් මේ සිදුවීම නිසා අපට එයාගෙ ගෙදර කැමරා හයිකරපු එකේ ප්‍රශ්නයට උත්තර හොයා ගන්න කාලය අපට එනවා…”

ජනරාල් වෙලිංටන්ගේ කාමරයේ සමාලෝචනයට එක්වූ මොලී කරුණු ඉදිරිපත් කළා ය.

“මේ ප්‍රශ්නය එන්න එන්න සංකීර්ණ වෙනවා… අපි මේකෙ කෙළවරක් දකින්න ඕන… මේක ඇදගෙන ගියා වැඩියි. විශ්වගේ ලේවල ඇති සුවිශේෂීයතාවය එක අතකින් ප්‍රශ්නයක්. මේ මිනිහාගේ අසාමාන්‍ය මානසික හැකියාව එක පැත්තකින්, එයා ගන්න බෙහෙත් වර්ග අපට තවම හරිහැටි විශ්ලේෂණය කරලා නිගමනයකට එන්න බැරි එක තවත් එකක්….. ඒ මදිවට මේ සියල්ල මැද්දෙ පොලීසියෙන් ප්‍රශ්න… ඒක නම් විසඳගත්තා කියමුකො… ඒත් අනිත් ඒවා මෙහෙම ඇදගෙන යන්න දෙන්න බෑ… මේකෙ අපි ඉවරයක් දකින්න ඕන ඉක්මනටම….”

මාක් සහ ජේසන් වෙත හැරුණු ජනරාල් වෙලිංටන් පැවසූයේ විධානයක ස්වරූපයෙන් නොවුණත් එහි බැරෑරුම්කම දෙදෙනාටම හොඳින්ම වැටහුණා.

“ඉතින් කොහොමද මේක අපි කරපු එක සහ නවතන එක සාධාරණීකරණය කරන්නෙ?”

“සාධාරණීකරණය කරන්න දෙයක් නෑ…. අපි මේක කරපු එක කිසිම තැනක ලිඛිතව සටහන් වෙලා නෑ,.. ඒ නිසා මෙහෙම මෙහෙයුමක් තිබුණෙ නෑ… ඒ නිසා නවත්වන එකේ ප්‍රශ්නයක් නෑ,….. එකම දේ පොලීසියේ ලියැවුණු විස්තර ටික… ඒකත් අපට බලාගන්න පුළුවන්…..” ජෙනරාල් වෙලිංටන් මෙහෙයුමට නැවතීමේ තිත තැබුවා. ඒ සමගම මොලී දිගු කල්පනාවකට වැටුණා. සිය ඥාති දියණියගේ වෙනස ජෙනරාල් වෙලිංටන් හොඳින් දුටුවා.

“ඇයි ජෙනී මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“ඔව් ජෙනරාල් තුමනි….මේ මෙහෙයුම මෙතන නැවතුනාම, නාවික පර්යේෂණ ආයතනයේ මගේ රැකියාවට මොකද වෙන්නෙ?”

“හ්ම්………. හොඳ ප්‍රශ්නයක්….. ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නත් ඔයා ලඟ තමයි… ඔයා මොකද හිතන්නෙ?”

“මට නම් ආයෙම මෙහේ එන එක ප්‍රශ්නයක් නෑ… නමුත් මම එකපාරටම නැවතුනොත් ඒක ලොකු ප්‍රශ්න වැලකට අතවනනවා. ඒ වගේම මේ පර්යේෂණයත් මම කැමති පැත්තක තිබෙන පර්යේෂණයක්….”

“හරි හරි…. ඔච්චර නිදහසට කරුණු අවශ්‍ය නෑ…. අපි ටික දවසක් ජෙනීව නාවික පර්යේෂණ ආයතනයේ තියමු… සමහරවිට ආයෙම පොටක් පෑදෙන්නත් බැරි නෑ… බොහොමයක් දේවල් අපව හොයාගෙන එන්නේ ඒවයේ අදහස හිත්න් අතහැරියම….”

“දැනට මාක් සහ ජේසන් ආයෙම මූලස්ථානයට යන්න.. ෆයිල් ඔක්කොම වහලා දාලා ටික දවසක් අපි මේ ගැන අවධානය යොමු නොකර ඉමු… අපි මේ විදියට පස්සෙන් පන්නලා දැන් විශ්වටත් බොහොම හති…. සමහරවිට සියල්ල යථාතත්ත්‍වයට පත් වුණාම අපට අලුතෙන් යමක් දැනගන්න ලැබේවි..”

ජෙනරාල් සිය මෙහෙයුම එසේ අවසන් කළවිට හැමදෙනාගෙම මුහුණුවල තිබුණෙ බොහොම බැරෑරුම් කටයුත්තකින් මිදුනා වැනි හැඟීමක්, නමුත් මේ මෙහෙයුම තමන් සිදු කළ අන් මෙහෙයුම් සමග සසඳා බලනවිට බොහොම සරළ මෙහෙයුමක් බව ඔවුන් සැම දෙනා ම දැන සිටියා.

එයින් වඩාත්ම සතුටට පත් වුණේ මොලී. බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කළ විශ්ව කරදරේ වැටුණේ මේ මෙහෙයුම නිසා බව ඇය හොඳින්ම දන්නා කරුණක්. ඒ වගේම වැඩි අනතුරක් නොවී විශ්ව මේ අයුරින් බේරීම ගැනත් ඇය සතුටු වුණා… වැඩියත්ම, නැවතත් ඇයට නාවික පර්යේෂණ ආයතනයේ සාමාන්‍ය පරිදි රාජකාරි කරන්නට හැකිවීමත්, විශ්ව හා එක්ව කාලය ගත කරන්න ලැබීමත් සිතින් අගයකොට සළකපු දෙයක්.

දින කිහිපයක් නැවතත් රෝහලේ සිටීම නිසා විශ්වගේ සිතත් ගතත් ව්‍යාකූලව පැවතුණා. එසේ වුවත්, තමන්ගේ ශරීරයේ සිදු වන වෙනස්කම් හොඳින්ම ඔහු දන්නා නිසා ඒ පිළිබඳ වැඩි පසුතැවීමක් දැක්වූයේ නැහැ. එසේම මොලී නිතිපතා පැමිණ සුවදුක් විමසීමත්, ගීතිකාගේ ඇසුර සහ භෞත චිකිත්සක සත්කාරත් නිසා කෙමෙන් කෙමෙන් යථා තත්ත්‍වයට පත් වීමට විශ්වට හැකි වුණා.

“සුදු පුතාට බැරිද ටික කාලයකට ලංකාවට ඇවිත් ඉඳලා යන්න? විශ්වගේ ලොකු නැන්දා, සුමනසේකර මහත්මිය, ඔහුගෙන්  විමසුවේ සිය මාමණ්ඩිය සහ නැන්දනියට ගත් දුරකථන ඇමතුමේදී…..”

“මේ කරදර ටිකක් ඉවර වෙනකල් මෙහේ ඇවිත් ඉඳලා යන්න… එතකොට නිවි සැනසිල්ලේ සතියක් දෙකක් ඉඳලා, හිතත් නිදහස් කරගෙන ඉඳලා යන්න බැරියෑ…..”

“එහෙම බෑ ලොකු නැන්දෙ…. මට මේ දවස්වල ඇති තරම් නිදහස තිබුණා… ඒ හැරත්, නිවාඩුත් ඇති වෙන්න දීලා තිබුණ නෙ… දැන් මට ඉක්මනටම වැඩට යන්න ඕන… නැත්නම් හරි නෑ…… ඒ හැරත්, දැන් මේ සැත්කමට පස්සේ මගේ ඇඟ බොහොම සාමාන්‍ය තත්ත්‍වයට පත් වෙලා තියෙන්නෙ… මම හිතන්නෙ නෑ ඊට පස්සෙ ප්‍රශ්නයක් ඒවි කියලා… අපි බලමු මොකද වෙන්නෙ කියලා…”

“අනේ මන්දා… හැමදාම හැමදේම තනියම කරගන්න පුරුදු වෙලා මේ ළමයට කාගෙවත් උපකාරයක් ගන්නවත් හිතෙන්නෙ නැති හැටි….” සුමනසේකර මහත්මිය සෙමෙන් තමන්ටම කියාගනිමින් දුරකථනය විසන්ධි කළා ය.

“නීලා….. සුදුපුතා කියන්නෙ බොහොම බලවත් චිත්ත ශක්තියක් ඇති ළමයෙක්…. ඒ නිසා ඒ ළමයා දන්නවා තමන් කරන්න ඕන දේ… අපි කළබල වෙන්න ඕන නෑ….. හැරත්, ඒ ළමයගේ නරක කාලය දැන් ගෙවිලා ඉවරයි… බලන්න ඉදිරියට ඒ ළමයා ආයෙම පරණ තත්ත්‍වයට පත් වෙනවා. ඔය ළමයා මානසිකව කඩා වැටෙන්න තිබුණේ මස්සිනා මැරිච්ච දවස්වල… ඒ තරම් අවාසනාවන්ත දෙයක් පවා මානසිකව විඳ දරා ගත්ත මේ දරුවට  ආයෙම කඩන් වැටෙන්න තැනක් නෑ…. අපි කලබල නොවී ඉඳිමු…. එයා අවශ්‍ය වුණොත් අපෙන් උදව් ඉල්ලයි…” මේ සියල්ල සාවධානව අසා සිටි සුමනසේකර මහතා සිය බිරිඳට අවසානයේ පැවසුවා.

“දැන් ඉතිං වැඩිය දුව පැන ඇවිදින්නෙ නැතිව සති තුනක් විතර පරෙස්සම් කරගන්න වෙයි….” රෝහලෙන් නික්ම යෑමට පෙර ගීතිකා විශ්වටත්, මොලීටත් පැවසුවා ය.

“ඔව් ඉතිං…. පොඩ්ඩ සනීප වුණ ගමන් දුවන්නනෙ බලන්නෙ… ෆිට්නස් තියා ගන්න….. දැන් ඉතිං ටික දවසක් හෙමින් වැඩ කරමු…. බබාව බලාගන්න වෙන්නෙ මට තමයි… නැන්දල මාමාලා දැන් නෑනෙ…” මොලී තරමක තරවටුවක ස්වරූපයෙන් පැවසුවා.

“ඔව් ඔව්…. මේ ඉන්නෙ හොඳ නර්ස් නෝනා කෙනෙක්….”

“හරි එහෙනම් ගිහින් එන්න…. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් කෙළින්ම මාව අමතන්න… වැඩිය කකුලට බර දෙන්නෙ නැතිව ටික දවසක් කිහිළිකරු පාවිච්චි කරන්න… තවමත් ඔයාගෙ අස්ථි සවිමත් වෙලා නෑ… ප්ලාස්ටර් කපන්න සති තුනක් විතර යනවා… ඒ වෙනතෙක් බර වැඩක් නොකර හිටියොත් තමයි හොඳ….” අවසාන උපදෙස් මාලාව ගීතිකාගෙන් ලැබුණා.

මොලීගෙ අත්වාරුවෙන් වාහනයට නැගුන විශ්ව අසුනේ ඇදී දෑස් පියාගත්තේ ය.

“මොකද  විශ්ව… අමාරුද?”

“නෑ,… මම මේ තවම කල්පනා කරන්නෙ මේ පසුගිය මාස තුන හතරේ සිදු වෙච්ච අභව්‍ය සිදුවීම් දාමය ගැන… නාවික පර්යේෂණායතනයට එන හැමෝටම මේ වගේ රැග් එකක් කන්න වෙන්නෙ නෑනෙ…. ඒත් ඇයි මටම මේ ඔක්කොම?”

“මුලින්ම වාහනේ හැප්පුනා.. ඒ මනුස්සයා මිය ගියාලු… නමුත් මට කිසිම ප්‍රශ්නයක් නෑ… ඒක සැකයි…. ඊලඟට මාසයක් විතරම ඉස්පිරිතාලෙ… ඒකත් වෝල්ටර් රීඩ් එකේ… සාමාන්‍ය මිනිස්සු එන තැනක් නෙවෙයිනෙ… ඒ මදිවට මම දැනුවත්ව කිසිම වැරැද්දක් නොකර, මාව නිරීක්‍ෂණය කරන්නත් කට්ටියක් එකතු වෙලා… ඒකෙත් කිසිම කෙළවරක් නැහැ.. දැන් මේක… අදින් පස්සෙ වත් මේ කරදර ඉවර වුණොත් හොඳයි…. වැඩටවත් කාලයක් යොමු කරන්න වෙලාවක් නැහැ….”

මොලී කිසිවක් නොකියා වාහනය විශ්වගේ නිවාසය වෙත වාහනය පැදවූයේ මේ ප්‍රශ්න කෙසේ කෙළවර වේ දැයි කල්පනා කරමිනි. තමන් දැන් කළයුත්තේ විශ්වගේ විශ්වාසය දිනාගෙන ඔහුගේ සැක දුරු කිරීම බව පමණක් ඇයට වැටහී ගියා ය.

“දැන් ඉතිං අපි මේ ඔක්කොම විසඳන එක කාලයට ඉඩ දීලා වැඩ කරගෙන යමු. ඔයා දන්නවනෙ පොලීසිය කියන්නෙ මේවා විසඳන්න කාලයක් ගන්න ආයතනයක් කියලා… ජීවිතේ සමහර දේවල් තියෙනවා අපට පාලනය කරන්න පුළුවන්, ඒ වගේම, කොච්චර මහන්සි ගත්තත් පාලනයට නතු කරගන්න බැරි දේවලුත් තියෙනවා. අපි පාලනය කරන්න බැරි දේ ගැන මහන්සි වුණොත් අපේ කාලය වගේම ශක්තියත් නිරපරාදෙ අපතේ යන එක සහ මානසිකව වැටෙන එක විතරයි වෙන්නෙ….”

“මම කියන්නෙ, අපි දැන් ටිකක් අපි ගැන බලමු… මම දන්නවා ඔයාට කවදාවත් හිතන්නවත් බැරි කරදර ගොඩක් මේ ටික කාලයෙදි ආවා… අපි දැන් ඔයාව හොඳකරගන්න එක ගැන ටිකක් හිත යොමු කරමු විශ්ව…. ඔයා මේ පසුගිය කාලයේ සෑහෙන මහන්සි වුණා… දැන් ටික ටික පර්යේෂණය ගැනත් හිතන්න කාලය හරි… අපට දැන් ප්‍රතිඵල පෙන්වන්න කාලය ඇවිත්.. ඔයා නැති පහුගිය දවස්වල මම තව ගණනය කිරීම් ටිකක් කළා… ඒකෙ ආකෘති දැන් සැකසිලා ඇති… අපි හෙට ගිහින් බලමු ආයෙම මේක ගොඩ ගන්න…”

බොහොම කාලෙකට පස්සෙ මොලී බැරෑරුම්ව දීපු උපදෙස් විශ්ව කිසිවක් නොකියා අහගෙන හිටියා.

“ඔව්… ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා…. කොහොම වුණත් මේ හැම දේම යන්න දීලා බලාගෙන ඉමු… මටත් මේ සිදුවීම් නිසා හිත සෑහෙන ව්‍යාකූල වෙලා තියෙන්නෙ….”

වාහනය නිවාස සංකීර්ණ අංගනයේ නැවැත්වූ මොලී, කිහිලිකරු ආධාරයෙන් ගමන් කළ විශ්ව වත්තම් කරගෙන විශ්වගේ නිවහන වෙත ගියා.

දොර ඇරගෙන ඇතුළට ගිය දෙදෙනාට නිවසේ සිදුවී ඇති විපර්යාසය දැක දෑස් අදහාගත නොහැකිව බලා සිටියා.

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

FREE Shipping on orders over Rs.1500/= Dismiss