
පිටස්තරයා 28
Surprise!
නිවස තුළ සිටි සියලුම දෙනා මහ හඬින් කෑගසා විශ්ව විමතියට පත් කළා. විශ්වට කුමක් සිදුවී දැයි දෑස් අදහාගත නොහැකිව බලා සිටියා.
අන්ධකාරව තිබූ නිවස ආලෝකමත් වෙද්දී, විශ්ව දුටුවේ තමන්ගේ නිවස සම්පූර්ණ සාදයක් බවට පරිවර්තනය වී ඇති ආකාරයක්. නිවස පුරා එල්ලා ඇති බැලූන්, අලංකාර ක්‍රේප් පටි, Welcome Home යනුවෙන් සඳහන් කළ බැනරයක් සහ වෙනත් නොයෙකුත් අලංකරණ රටා නිවසට ගෙනදුන්නේ තරමක නවතාවයක්. මේ තාක් මොලී කිසිදු වදනක් මේ සම්බන්ධයෙන් කතා නොකිරීම ගැනත් විශ්වට තිබුණේ විමතියක්. එහෙත් දීර්ඝ කාලයක් රෝගීව සිටින කෙනෙකුගේ මානසික තත්ත්‍වය යථා පරිදි සැකසීමටත්, ඔහු හෝ ඇය නැවතත් ඉක්මනින් සමාජගත කිරීමටත්, බොහෝ බටහිර රටවල මෙවැනි සාද සංවිධානය කරන බව විශ්ව දැන සිටියා. ඒ නිසාම එය එතරම්ම අමුත්තක් වූයේ නැහැ.
තමා ගෙන ආ බඩු භාණ්ඩ අසළ සිටි සිමෝනාට දුන් මොලී විශ්ව නැවතත් වතාවක් වැලඳගත්තා.
“Welcome Home විශ්ව…!”
“අපි ඔයාට සාදයක් ලෑස්ති කළා. මේ දවස් ටිකේම ඔයා හිටියෙ බොහොම කරදර ගොඩක් මැද….. සිතත් බොහොම ව්‍යාකූලයි… මේ සියල්ල අවසන් වෙන්න ඔයාගෙ හිත සනසවන්න, නැවතත් අපි අතරට ගන්න, අපි පුංචි සාදයක් සංවිධානය කළා… මොලී විශ්වට කණට කොඳුරා තමන්ගේ සාදයේ අරමුණ පැහැදිලි කළා…”
“Welcome Home Son,….” ජනරාල් වෙලිංටන් සෙනඟ අතරින් පැමිණ විශ්ව වැළඳගත්තා…..! විශ්වට හිතාගන්නවත් බැහැ…. ලෝකෙ ලොකුම උපායමාර්ගික දක්‍ෂයෙක්, CIA සංවිධානයේ ඉහළම තනතුරක් හොබවන පුද්ගලයෙක්, මේ ගෙදර, මම වෙනුවෙන්?
“පුදුම වෙන්න දෙයක් නැහැ විශ්ව… ඔයා දන්නවා අපේ ආයතනයේ ගති ස්වභාවය… අපට එතන සේවය කරන හැමෝම අපේම පවුලේ උදවිය වගේ… කෙනෙකුට කරදරයක් වුණාම වගේම කෙනෙකුට සංතෝෂවන්නට කාරණයක් ආවත්, අපි හැමෝම එකා වගේ එතන ඉන්නවා….”
“බොහොම ස්තුතියි ජෙනරල්…ඇත්තෙන්ම මම පුදුමයට පත් වුණා… මම මේ වගේ පිළිගැණීමක් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ…” විශ්වට තවමත් තරමක කම්පනයක ස්වභාවයක් දැනුනෙ, තමන් වෙනුවෙන් මේ අය කොයිතරම් මහන්සි වෙනවද කියලා. නාවික පර්යේෂණායතනයේ ගුරුත්ව පර්යේෂණ කේන්‍ද්‍රයේ ලොකු කුඩා නිලතල දරන සියලුම දෙනා සාදයට පැමිණ සිටියා.
“Let the party begin!” එසේ කෑ ගැසූ බිල් සිය සංගීත වාදන යන්ත්‍රයේ ශබ්ධය වැඩි කළා. ඒ සමගම සාදයට පණ ලැබුවා. සාදයේ සංවිධාන කටයුතු සියල්ල භාරගෙන තිබුණේ සිමෝනා සහ මෙගන්. කවදත් ඒ කටයුතු සංවිධානය කරන ඔවුන්ට, එය එතරම් බැරෑරුම් කටයුත්තක් වූයේ නැහැ. හැම දෙනාගෙම අතේ බියර් බෝතලයක් හෝ වයින් වීදුරුවක්, තමන් කිසිදු මාංශයක් නොගෙනා මේ නිවසේ මස් අඩංගු කෙටි ආහාරවලින් බොහෝ දෙනා සන්තර්පණය වෙනවා. එය ඔහුට වේදනාවක් ගෙන නොදුන්නත්, සිය අනන්‍යතාවය ගිළිහී යනවාක් මෙන් විශ්වට දැනුණා.
විශ්ව අසල වූ පුටුවකට වත්තම් වී මේ සියල්ල දෙස විමතියෙන් මෙන් බලා සිටියා. තමා අසපුවක් මෙන් සලකා ජීවත් වූ මේ නිවස අද රාත්‍රී සමාජ ශාලාවක් සේ විනෝදමත් වන පිරිසක් සිටින තැනක් බවට පරිවර්තනය වී තිබුණේ තමාගේවත් අනුදැනුමකින් තොරව. මෙතෙක් කලක් තමන් දැඩි පාලනයකින් සහ සංයමයකින් ගත කළ ජීවිතය තමන්ටත් නොදැනිම ගිලිහී යෑම විශ්වගේ සිතේ ඇති කළේ වෙනසක්. එක්කෝ තමන් තමන්ටම සිදු කළ අසාධාරණයක්ද? එසේත් නැතිනම් තමා පවත්වාගෙන ගිය දැඩි සංයමය මිරිඟුවක්ද කියා තෝරාගත නොහැකිව කොහේ හෝ අතරමංව සිටින බව විශ්වට දැනුණා. ඒත් ඒ කිසිවක් දුරදිග සිතන්නට පෙර මොලී ඔහු අසලට පැමිණ අසුන් ගත්තා.
“කොහොමද? පාටිය හොඳයිද?”
“හ්ම්…. ඇත්තටම මම සෑහෙන පුදුම වුණා… ඒත්, මේක නරක නෑ.. මම කැමතියි…”
“විශ්ව…. ඔයා සතුටින් ඉන්නවට මම කැමතියි……”
ඒ වදන් මොලීගෙ මුවින් පිටවුණේ විශ්වගෙ දෑස් පසාරුකරගෙන යන බැල්මක් සමගයි… විශ්වට ඒ වෙනස තදින්ම දැණුනා… නමුත් ඒ සංවාදය වැඩිදුර ගෙනයෑමට නොහැකි වුණා.
“ඔයාට හිටගෙන ඉන්න අමාරු නිසා අපි මෙතනට එනවා…..”
“මෙගන් බීර බෝතලයක් රැගෙන විශ්ව අසලින් වාඩි වුණා.. ඉතිං? කොහොම ද? ඔයාට කරදර ගොඩක් වුණ බව අපි හැමෝම දන්නවා… අපි ඔයාව නිතර නිතර බලන්න ආවෙ නැත්තේ ඔයාට බාධා වන නිසා.. දැන් ඉතිං ඔයාගෙ ප්‍රශ්න ගොඩක් අඩුයි කියලා දැන ගත්ත නිසා තමයි අපි මේ පාටි එක සැලසුම් කළේ… ඉතිං? දැන් කොහොම ද?” තරමක් අඟර දඟර පාමින් මෙගන් විශ්ව වෙත කිට්ටු වන ආකාරය අනෙක් පස සිට මොලී බලා සිටියා.
අතරින් පතර එකිනෙකා විශ්ව අසලට පැමිණ ඔහුගේ සැපදුක් විමසමින් ඔහු නැවතත් සුවය ලැබීම පිළිබඳ සිය සතුට පළ කළා. තමන් ඔවුන් සමඟ ගතකළ කාලය ඉතා අල්ප වුවත්, නාවික පර්යේෂණායතනයේ ගුරුත්ව පර්යේෂණ කේන්‍ද්‍රයේ සියලුම දෙනා තමන් වෙත දැක්වූ ලැදියාව විශ්වගේ පැසසුමට ලක් වුණා…. සියලුම දෙනා ඉතා සුහදව තමන් හා ඇසුරු කිරීම ඇත්තෙන්ම ඔහුටම පුදුමයක් වුණා. තනිව ජීවත් වූ විශ්වට මිතුරන් සිටියේ බොහෝමත්ම අල්පයයි. ඒ අතරිනුත් හොඳම මිතුරකු යැයි කීමට කිසිවෙකු සිටියේ නැහැ. සිය සැප දුක සියල්ල බෙදා ගත්තේ තම ලොකු නැන්දා සහ ලොකු මාමා අතර බව විශ්ව හොඳින්ම දැන සිටියා. එසේම වෙනත් කිසිවකුගේ උපකාරයක් ඔහු බලාපොරොත්තු වූයේ ද නැහැ.
මේ සංවාද, සිනහා, බැරෑරුම් සාකච්ඡා සියල්ල අතරේ මධ්‍යම රාත්‍රිය වනවිට බොහෝ දෙනා නිවසින් බැහැරව යද්දී සියල්ල අස්පස් කරන්නට ඉතිරි වූයේ සිමෝනාත් මොලීත් පමණයි. විශ්වත් මහන්සියටම පුටුවක දිගා වී නින්ද ගොස් තිබුණා. විශ්වට බාධා නොකර සියල්ල අස්පස් කළ මොලී, සිමෝනාටත් යන්න ඉඩහැර පුටුවේ නිදන විශ්ව දෙස බලාගෙන කල්පනා කරන්නට වූයේ තමන් ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි සිතමින්.
මේ මෙහෙයුම මෙතෙක් කල් තමන් කළ සියලුම මෙහෙයුම්වලට වඩා වෙනස්, බොහොම සංවේදී මෙහෙයුමක් වූවා. වෙනත් මෙහෙයුම් ඇරඹුමේ දී අවසාන ඉලක්කය කුමක්ද කියා සහ පියවරෙන් පියවර සියල්ල මනාව සැලසුම් කළත්, මේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම ක්‍ෂණිකව වෙනස්වනසුළු සිද්ධි දාමයකින් සමන්විත, තමන්ගේ සෑම අංශයක්ම මනාව පරීක්‍ෂණයකට භාජනය කරන මෙහෙයුමක් බව මොලීට අවබෝධ වුණා… මාක් සහ ජේසන් සහාය ලබා දුන්නත්, තමන් මේ වැටුන වලෙන් ගොඩ ආ යුතු බව ඇයට වැටහුණා. මෙහෙයුම අවසාන වුවත්, සබඳතාවය දිගටම පවත්වාගෙන යන්නට මොලීට සිදුවීම ඇයතුළ යම් අස්වැසිල්ලක් ගෙන දුන්නා. වෙනත් මෙහෙයුම් මෙන් නොව, තමා විශ්වට මානසිකව බැඳී ඇතිබව ඇයට වැටහුණා. එසේම මේ රැකියාව තව දුරටත් මෙසේ කරගෙන යෑම තමන්ගේ අනාගතයට ද ප්‍රශ්න ඇතිකරන බව ඇය දැන සිටියා. CIA සංවිධානයේ ක්‍ෂෙත්‍ර නිලධාරිනියක් යනු, බොහෝ විට ජීවිතයත් මරණයත් අතර කරන සෙල්ලමක් බව ඇය දන්නා නිසාම, මේ තනතුරෙන් ඉවත් වී සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට කාලය පැමිණ ඇති බව ඇයට වැටහුණා.
ඒ සමගාමීව විශ්ව වෙනුවෙන් සිය සිතේ කොණක ලැදියාවක් ගොඩනැගෙමින් පවතින බව ඇයට නොරහසක්. වෙනත් කිසිදු පිරිමියෙක් වෙනුවෙන් නොවූ කැපකිරීමක්, මහන්සියක්, විශ්ව වෙනුවෙන් තමන් කරද්දීත්, ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නැත්තකු සේ හැසිරෙන විශ්ව දෙස ඇගේ තිබුණේ කණස්සල්ල මුසු කුතුහලයක්. ඈ නිවස පීරා යමක් සොයාගන්නට උත්සාහ කළත්, විශ්ව සතු කිසිම සම්බන්ධතාවයක තොරතුරු සොයා ගැනීමට ඇයට නොහැකි වුණා. දුරකථන සංවාද පවා සීමිතව සිදු වූයේ විශ්වගේ මාමා සහ නැන්දාට සහ වොෂිංටන් බෞද්ධ විහාරයේ අත්ථදස්සි හිමියන් වෙත පමණයි. මෙවැනි පුද්ගලයෙක් මෙවැනි වෙන්වූ සහ කොන් වූ ජීවිතයක් ගත කිරීම මොලීට තරමක පුදුමයක් ගෙන දුන්නා. තමා මීට පෙර දැක ඇති, ඇසුරු කර ඇති තරුණයන් අතර විශ්වගේ වූ සුවිශේෂී බව මොලීට මනාව වැටහුණා. මේ සියල්ල සිය දැනුම, සංකල්ප, අත්දැකීම් තුළින් විශ්ලේෂණය කළ ඇය තීරණයක් ගත්තා.
ඈ සෙමෙන් විශ්ව නිදන පුටුවේ කොණක වාඩි වී විශ්වට කතා කළා.
“විශ්ව…. විශ්ව…. නැගිටින්න….. දැන් හොඳටම රෑවෙලා….. යමු නිදාගන්න…..”
“ඈ සෙමෙන් විශ්වගේ උරහිසින් අල්ලා සෙලවූවා…. කිසිම හැලහොල්මනක් නැති විශ්වගේ සිරුර හොඳටම සීතල වෙලා… ඈ හොඳටම බිය වූවා…”
“විශ්ව…. විශ්ව !…….”
“නැගිටින්න……” ඇය හොඳටම කලබල වෙලා විශ්ව හැකි තරම් වේගයෙන් සොලවමින් විශ්ව අවදි කරන්නට උත්සාහ කළා… එහෙත් විශ්ව නිසොල්මන්…. හුස්ම ගන්නවාද නැද්ද යන්නවත් නොදැනෙන තරමට ඔහු නිසොල්මන්.
“විශ්ව… විශ්ව…. නැගිටින්නකෝ…….” මොලී බොහොම කලබල වෙලා විශ්ව නැවත නැවතත් අවදි කරවන්නට උත්සාහ කළා…
“දෙවියනේ…. මේ මොනවද වෙලා තියෙන්නෙ?” මොලීගේ දෑසින් එලියට බට කඳුළු ඇගේ කම්මුල් දිගේ ගලා යන්නට වුණා…. තමාගේම අවියෙන් ලෝකයට තර්ජනයක් වූ ත්‍රස්තවාදීන් මිය යද්දී නොදැණුන වේදනාවක් අද ඇයට දැනෙන්නට වුණා.
තමන් කළ යුත්තේ මොකක්ද කියා සිතා ගන්නට බැරි වූ මොලී දිගු හුස්මක් රැගෙන නැවතත් විශ්ව වෙත නැඹුරු වූයේ විශ්වගේ තත්ත්‍වය හරියටම කුමක්දැයි බලා තීරණයක් ගැනීමේ අටියෙන්.