SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 29

තමා ඉගෙනගත් විද්‍යාවට අනුව නම් මළ සිරුරක් වුවත් මේ තරම් සීතල වන්නට පැය ගණනාවක් ගත විය යුතු බව මොලීට හැඟුණා. මෙතැන කිසියම් හෝ වැරැද්දක් සිදු වී තිබෙනව ද? විශ්ව නිද්‍රාවට පත් වී පැයක පමණ කාලයක් ගත වී ඇති බව ඇයට තේරුණේ ඇය සහ සිමෝනා නිවස අස්පස් කිරීමට ගත වූ කාලය ගණන් බැලීමෙන්.

නැවතත් විශ්වගේ සිරුරට අත තැබූ මොලීට ස්පර්ශ වූයේ සීතල සිරුරක්. සිය පුහුණුවෙන් ඉගෙන ගත් දෑ මනාව සිහිකරමින් විශ්වගේ බෙල්ලට ඇඟිලි දෙකක් තැබූ මොලී විශ්වගේ නාඩි පිරික්සන්නට වූවා. විශ්ව සත්තකින්ම ජීවත්ව ඇති බවට සහතිකයක් නිශ්චිත වශයෙන්ම ලබා ගැනීමට ඇයට එමගින් ද හැකියාවක් ලැබුණේ නැහැ. අවසාන වශයෙන් ඇයට සිදු කළ හැකිව තිබුණේ එකම පරීක්‍ෂණයක් පමණයි… සිය පසුම්බියෙන් මුහුණ බලන කණ්නාඩිය ගත් මොලී සෙමෙන් විශ්වගේ නාසයට එය ලං කළා.

සියුම් ජලවාශ්ප පටලයක් කණ්නාඩියේ රැඳවෙනු දුටු මොලී සැනසුම් සුසුමක් හෙළුවේ විශ්ව තවදුරටත් ජීවතුන් අතර සිටින බවට පසක් කර ගනිමින්. නමුත්, මේ තරම් සීතල සිරුරක්? වායු සමන යන්ත්‍රය නිසා සිදුවූවක් ද? එසේත් නැතිනම් වෙනත් සංසිද්ධියක් නිසා සිදු වූවක්ද?

අවේලාවේ නාද වූ සිය ජංගම දුරකථනය දෙස නිදිමතේම ලං වූ ජෙනරාල් වෙලිංටන්, එහි මුහුණතේ වූ නම දුටු සැණින් දුරකථනය ක්‍රියාත්මක කළා.

“ජෙනී….. ඇයි මේ අවේලාවෙ?”

සිය ඥාති දියණිය අවේලාවේ අමතන්නේ කුමක් හෝ බරපතල කාරණයකට බව ජෙනරාල් වෙලිංටන්ට පසක් වන්නට අමුතු දැනුමක් අවශ්‍ය වූයේ නැහැ. මේ තාක් කල් ජෙනරාල්ට විශ්වාසවන්ත කෙනෙකු ලෙස ඕනෑම බැරෑරුම් මෙහෙයුමක මූලිකත්‍වය ගෙන කටයුතු කළ ඇය, අත්‍යවශ්‍ය කාරණයකට හැර ඔහුට ඇමතීම් නොකරන බව හොඳින් දැන සිටියා. මේ නිසාම මේ දුරකථන පණිවුඩය සුවිශේෂී වූවා.

“මම තවමත් විශ්වගේ නිවසේ…. පොඩි කරදරයක්………….”

තමන් මෙවර අතගැසූ කටයුත්ත ‘මේ තරම් කරදර ගෙන දේ යැයි සිතුවා නම්…..’ වැනි සිතුවිල්ලකින් ඔහු සිය දුරකථනයට ආමන්ත්‍රණය කළා.

“ඒපාර මොකද්ද?”

“විශ්ව නිද්‍රාවකට වැටිලා.. මොකක්ද කියන්න දන්නෙ නැහැ… ඇඟත් සීතලයි… හුස්ම ගැනීම ඉතාමත් දුර්වලයි….මට තේරෙන්නෙ නැහැ මොකද්ද කරන්න ඕන කියලා……”

“හොඳටම සහතික ද ඔහු මියගොස් නැහැ කියලා?”

“සහතිකයි…. මම බැලුවා… නාඩි වැටීම ඉතාම අවමයි. ශරීර උෂ්ණත්‍වයත් ෆැරන්හයිට් 80කට වඩා නැහැ. මට තේරෙන්නෙ නැත්තේ මේක එක්කෝ හදිසි හෘදයාබාධ තත්ත්‍වයක් ද? එසේත් නැතිනම් වෙනත් රෝගයක් ද කියලයි… කොහොම වුණත් මම 911ට කතා කරලා පොලීසියට දන්වන්න ද?”

“එපා…. මතකනෙ අනතුර වෙලාවෙ පොලීසිය මැදිහත් වුණාම වෙච්චි කරදරේ….. ඉන්න….මම මෙඩිකල් ටීම් එකක් එවන්නම්..මේකත් බොහොම පරිස්සමින් කරන්න ඕන මෙහෙයුමක්. නිතරම අවධානයෙන් ඉන්න. මොකක් හරි ප්‍රශ්නයක් නම් මට වහාම කතා කරන්න…”

දුරකථනය විසන්ධි කළ ජෙනරාල් වෙලිංටන් සීඅයිඒ ආයතනයේ පුහුණුව ලැබූ වෛද්‍ය කණ්ඩායමකට ඇමතුවේ විශ්වගේ තත්ත්‍වය සොයා බැලීමට සහ ඔහු පත්ව ඇති තත්ත්‍වයෙන් මුදවා ගැණීමට.

කෙමෙන් කෙමෙන් යථා තත්ත්‍වයට පැමිණි විශ්ව සමෙන් දෑස් විවර කළේ සිය දැහැන්ගත වූ සිත එයින් මුදා පියවි ලෝකයට පැමිණීමට වුවත්, සිය සිරුර වසා ඇති පොරෝණයත්, තමා දෙස බියපත් වී බලා සිටින මොලීත් දුටු ඔහුට

නොදැනුවත්වම සිදු වී ඇති අතපසුවීම අවබෝධ කර ගැනීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ.

“ඇයි මොලී? මොකද බයවෙලා වගේ? විශ්ව කිසිවක් නොදන්නා ගානට ඇසුවේ දෑස් පොඩිකරමින්…”

“විශ්ව…. විශ්ව…. මොලී ඉන් එහාට යමක් නොකියා ඔහුව වැළඳ ගත්තේ අවුරුදු ගණනාවක් නොදැක සිටි කෙනෙකු හමු වූ ආකාරයට….”

“ඇයි මොලී? මොකද කළබල වෙලා?”

ඇගේ හැඬීමට කල් දී ඔහු වැළඳගෙන සිටින්නට ඇයට ඉඩ හැරියා. එය අවසන් වූයේ වෛද්‍ය කණ්ඩායම නිවසේ දොරට තට්ටු කරන හඬින්.

වහාම නිවසේ දොර වෙත දිවගිය මොලී ඔවුන් නිවස තුළට කැඳවා ගත්තා…. විශ්ව බලා සිටියා පමණයි…

“මම 911 කතා කරලා වෛද්‍ය කණ්ඩායමක් ගෙන්වා ගත්තේ ඔයා නින්දෙන් නැගිටින්නේ නැති නිසා…..ඔවුන්ට ඔබව පරීක්‍ෂා කරන්න ඉඩ දෙනවද?”

“විශ්ව කිසිත් නොකියා ඔවුන්ට ඉඩ ලබා දුන්නා….”

“සර්…. ඔබට දැන් කොහොම ද?”

“මට කිසිවක් වුණේ නැහැ… මම හිතන්නේ අධිකව මට නින්ද ගියා…”

“ඔබ කිසියම් මත් ද්‍රව්‍යයක් පාවිච්චි කළා ද?”

“නැහැ… මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නොවෙයි….”

“යම් රෝගයකට බෙහෙත් පාවිච්චි කරනව ද?”

“ඔව්.. මෑතක දී කළ ශල්‍යකර්මයක් නිසා බෙහෙත් වර්ග කීපයක් භාවිත කරනවා…”

“අවසාන වරට බෙහෙත් බිව්වේ කීයට ද?”

“අද සවස, ආ… මට කියන්න අමතක වුණා… මේ බෙහෙත් බීවම මට අධික නිදිමතක් එනවා.. ඒ වගේම මගේ ඇඟ තරමක් සීතල ගතියක් දැනෙනවා… සමහරවිට මේකද දන්නෙ නෑ වුණේ… මම දන්නෙ නැහැ මොලී මට කතා කරනවා… නොදැනීම මට නින්ද යන්න ඇති….. මාව අවදි කරවන්න අපහසු නිසා මොලී ඔබට කතා කරන්න ඇති… මම හිතන්නේ ඒකයි මෙතැන සිදු වෙන්න ඇත්තේ…. මම හෙට රෝහලට ගිහින් බෙහෙත් මාරු කරගෙන එන්නම්……”

විශ්ව පැවසූ ‘සත්‍යය’ පිළිගන්නවා සේ හැඟවූවත්, එය සම්පූර්ණ සත්‍යය නොවන බව එතැන සිටි පළපුරුදු ඔත්තුකරුවන් සියලුම දෙනා හොඳින් අවබෝධ කර ගත්තා.

කෙසේ වුවත්, ඒ අවස්ථාවේ දී ම ලබාගත් විශ්වගේ රුධිර පීඩනය, රුධිරයේ සීනි සාන්‍ද්‍රණය, ඇතුළු පූර්ණ රුධිර පරීක්‍ෂාවත්, හෘදයේ සහ මොළයේ සම්පූර්ණ ක්‍රියාකාරිත්‍ව සටහන් අඩංගු රෝග විනිශ්චය ලිපිගොනුව පරීක්‍ෂා කර බැලූ වෛද්‍ය නිලධාරියා සහ කණ්ඩායම, විශ්වට කිසිදු අපහසුතාවයක් නොමැති බවත්, රෝහලකට යෑමට හෝ වෙනත් ඖෂධ අවශ්‍ය නොමැති බවත් තහවුරු කර එතැනින් නික්ම ගියා.

වෛද්‍ය කණ්ඩායම පිටව ගිය පසු මොලී විශ්ව සමග දොඩමළු වුණා.

“ඇත්තෙන්ම විශ්ව මොකද වුණේ? බෙහෙත් නිසා ද මේ? මම හිතන්නෙ නැහැ…. මෙතන ඊට වඩා යමක් තියෙනවා… ඔයාගෙ ශරීර උෂ්ණත්‍වය මෙච්චර පහළ යන එක අසාමාන්‍යයි… හැරත්, මෙච්චර පහළ ගියොත් ජීවත් වෙන්න අමාරුයි… ෆැරන්හයිට් 95 කියන්නෙත් කෙනෙකුට දරා ගන්න අමාරු උෂ්ණත්‍වයක්… ඒත් ඔයා….? ඔයාගෙ ශරීර උෂ්ණත්‍වය පැහැදිලිවම 80ත් 90ත් අතරෙ තිබුණේ… ඔයා අයිස් කැටයක් වගේ සීතල වෙලා… ගල් වෙලා තිබුණේ… හුස්ම ගත්තෙත් බොහොම හෙමින්… කොටින්ම කියනව නම් ඔයා සම්පූර්ණයෙන්ම මිදුන අයිස් කැටයක් වගේ… කොහොම ද එහෙම වෙන්නෙ? මොනවද විශ්ව වෙන්නෙ? ඔයා කවුද?”

එකදිගට මොලීගෙන් ප්‍රශ්න වැලක් විශ්ව වෙත මුදා හැරුණෙ නොසිතූ විදියට…

“මම දන්නෙ නෑ මොලී… සමහර වෙලාවට මට පුදුමාකාර විදියට නින්ද යනවා… ආයෙ නැගිටලා බලද්දි ඇඟ සීතල වෙලා… මම ඒගැන එච්චර හිතුවෙ නැත්තෙ ඒක ඒ තරම් ගණන් ගන්න දෙයක් නැති නිසා… ඒ වගේම ඒක ඒ තරම් අසාමාන්‍ය දෙයක් නොවෙයි… මේක මම හිතුවෙ බෙහෙත්වල අතුරු ප්‍රතිඵලයක් නිසා වෙනවදෝ කියලා… අපි බලමු ඊලඟ වතාවෙ වෝල්ටර් රීඩ් එකට ගියාම මොකක්ද මේ කියලා අහලා බලන්න…”

විශ්ව ගණනක් නොගෙන කියාගෙන ගිය දේ ගැන මොලී හිටියේ එතරම් ප්‍රසාදයකින් නොවුණත්, වේලාවේ හැටියට ඒක පිළිඅරගෙන පසුව සොයා බැලීම වටින බවට ඇය තීරණය කළා.

“හ්ම්… දැන් හොඳටම රෑ වෙලා… රෑ වෙලා නෙවෙයි… එළිවෙන්නත් ළඟයි… දැන් අපි නිදා ගනිමු… ඔයාට හොඳ විවේකයක් අවශ්‍යයි….”

“හොඳයි… මොලී, ඔයා ගිහින් කාමරයෙ නිදා ගන්න… මම සෙටියෙ නිදා ගන්නම්… තව ටික වෙලාවයිනෙ….”

“නැහැ නැහැ… ඔයාටයි විවේකය අවශ්‍ය…. අපි කාමරයට යමු….”

මොලී විශ්ව වත්තම් කරගෙන කාමරය වෙත ගියේ සිතේ දෙගිඩියාවකින්… කිසිදු අවස්ථාවක විශ්ව තමන් වෙත කිසිදු සමීපතාවයක් දක්වා නැති බව ඇයට මතක් වුණා.. ඒ වගේම මේ තරම් සමීප වූ අවස්ථාවක් ද නැහැ… තමන් පිරිමින් කිහිප දෙනෙකු සමගම රාජකාරිමය වශයෙන් සහ පෞද්ගලිකවම නිර්ව්‍යාජ සහ ව්‍යාජ සබඳතා කිහිපයක්ම පවත්වාගෙන ගියත්, මේ තරම් චකිතයක් දැනී ඇති අවස්ථාවක් මොලීට මතක් වූයේ නැහැ. ඒ නිසාම විශ්වගේ මුහුණ බැලීමටවත් මොලීට ශක්තියක් තිබුණේ නැහැ. විශ්ව කියන දේකට අවනත වනවා හැරෙන්නට තමන්ට වෙනත් විකල්පයක් ඇතැයි මොලී කල්පනා කළේ නැහැ… බුද්ධියද, හැඟීම්ද මේ අවස්ථාවේ ප්‍රබල වන්නේ යන්න මොලීට කිසිදු නිනව්වක් තිබුණේ නැති නිසාම විශ්වද වත්තම් කරගෙන මොලී විශ්වගේ කාමරය වෙත පියමැන්නා.

 

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *