SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 30

“ඊයෙ රෑ මොකද වුණේ?”

පර්යේෂණයාගාරයට පැමිණි වහාම මෙගන් දුවගෙන ඇවිත් මොලීගෙන් විමසුවා.

“මොනවා වෙන්න ද? මමයි සිමෝනයි ගේ අස්පස් කරලා යන්න ගියා. මම ගෙදර යනකොට රෑ වෙලා.”

“ඔයාට හොඳටම සහතික ද ඔයා ගෙදර ගියා කියලා?”

“ඔවු… ඇයි? මම විශ්වගෙ ගෙදර නැවතුනා නම් ඔයාට ප්‍රශ්නයක්ද?”

“මට ප්‍රශ්නයක් නෑ…නමුත් ඔයා දිහා බැලුවම නම් පේන්නේ වැඩිය නින්දක් ලබලා නෑ වගේ….”

“ඔයාට ඒවයෙන් ප්‍රශ්නයක් නෑනෙ මෙගන්… ඒක මමයි විශ්වයි බලා ගන්නම්…… බොහොම ස්තුතියි විමසිලිමත් වුණාට….”

මොලී එතැනින් ඉවත් වුණේ තරමක නොමනාපයකින්…

කෙසේ වුවත්, ඊයේ රෑ සිදු වූ සිදුවීම්වලින් මොලී සිටියේ ඉතාමත් ව්‍යාකූලවයි. මෙතෙක් කල් විශ්ව හා සමීපව කටයුතු කළත්, තවමත් විසඳා ගැනීමට නොහැකි බොහෝ රහස් විශ්ව සතුව පවතින බව පමණක් මොලීට අවබෝධ වුණා. මේ සියල්ලම අනාවරණය කර ගැනීමට ඉතා සූක්‍ෂම සැලසුමක් සැකසිය යුතු බවට ඇය කල්පනා කළා.

“මොකද කල්පනාව….. විශ්ව තවමත් නැති එක ගැන ද?”… ඒ පාර බිල්……

“අද විශ්ව එන්නෙ නැහැ බිල්….. තව ටික දවසක් යාවි කකුල හොඳ වෙන්න…. බොහෝවිට ලබන සඳුදා ඉඳලා වැඩට ඒවි….”

“ඔයාල දෙන්නගේ පර්යේෂණයත් සෑහෙන අතපසු වුණා නේද මේ ප්‍රශ්න නිසා…. ලබන සතියේ ප්‍රගති සමාලෝචනයට මොනව ද කියන්න හිතාගෙන ඉන්නෙ? අඩුම ගානෙ දත්ත ගණනය කිරීමක්වත් කරලා තියෙනව ද?” මොනවා කළත්, පර්යේෂණ පිළිබඳ ඉතාමත් බැරෑරුම්ව සිතන බිල් මොලීගෙන් විමසුවේ ඔවුන්ගේ පර්යේෂණයේ ප්‍රගතියක් මාස ගණනාවක දී නොදුටු නිසයි…

“ඔවු… මේ වැඩ අස්සෙ වුණත් මම ගණනය කිරීම් රාශියක් කරලයි තියෙන්නෙ… මම හිටියේ විශ්ව සනීප වෙලා එනතුරු…. ලබන සතියේ අපට පුළුවනි ඒ ගණනය කිරීම් ඉදිරිපත් කරන්න… ඊට පස්සේ අපි ඒ අනුසාරයෙන් ප්‍රායෝගික මොඩලයකට අනුගත වෙනවා…. සමහරවිට අපට පුළුවන් වේවි අලුත් දෙයක් ඉදිරිපත් කරන්න….”

මොලී දෑස් පරිගණක තිරයෙන් ඈතට නොගෙනම බිල්ට පැවසුවා.

“එහෙමනම් හොඳයි… මේ පර්යේෂණය කොහොමත් ගොඩක් දෙනෙක් අතහැර දාපු දෙයක්… අපිත් බලාගෙන ඉන්නේ මේකෙ කොණක් හොයා ගන්න පුළුවන් වේවි ද කියලා… එහෙම වුණොත් ගොඩක් දේවලට මේකෙන් ලබා ගන්න ප්‍රතිඵල යොදා ගන්න පුළුවන්…”

බිල් එතැනින් ඉවත්ව ගියේ ඇත්තෙන්ම පර්යේෂණයේ ප්‍රගමනය යහපත් නම් සොයාගත හැකි දත්ත පිළිබඳ සිතින් ගණනය කිරීමක් කරමින්…

නාවික පර්යේෂණ ආයතනයේ බොහොමයක් පර්යේෂණ එකිනෙකට වෙනස් වුවත්, ඒ සෑම පර්යේෂණයක්ම කිසියම් හෝ අයුරකින් එකිනෙක හා බැඳී පවතිනවා. එසේම මේ පර්යේෂණ බොහොමයක් ඇමරිකා එක්සත් ජනපදයේ යුධමය අද්විතීයභාවය වැඩිදියුණු කිරීමේ කටයුත්තට දායක වෙනවා. විශ්ව සහ මොලීගේ පර්යේෂණය පෘථිවි ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය සම්බන්ධ කරුණු පාදක කරගෙනයි ඉදිරියට යන්නේ. මෙහිදී පෘථිවියේ ගුරුත්‍ව ක්‍ෂෙත්‍රවල විචලනය, එහි අඩු වැඩි බව සහ මේ අඩු වැඩි බවට හේතු, ඒ අඩු වැඩි බව උපයෝගී කරගෙන අභ්‍යවකාශ ව්‍යාපෘතියේ ලබාගතහැකි වාසි ආදී බොහෝ දේ මේ පර්යේෂණය වටා බැඳී පවතිනවා. විශ්වගේ අසාමන්‍ය හැකියා සහ අධ්‍යාපනික සුදුසුකම් නිසා නාවික පර්යේෂණ ආයතනයට බැඳුණු පසු ඔහුට එම පර්යේෂණය ලබා දීමට ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් කටයුතු කළේ ඔහුගේම කැමැත්තට මෙන්ම ඉහළ පාලනාධිකාරියෙන් ලැබුණු නියෝග අනුවයි. පසුව මොලී මේ කර්තව්‍යයට එකතු වූයේ වෙනත් අරමුණක් පෙරදැරිව වුවත්, මොලීගේ අධ්‍යාපනයෙන් ලද පුහුණුව සහ විශේෂ දැනුම මේ සඳහා යොදා ගත හැකි වීම එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමක් ලෙස හැඳින්විය හැකියි. මේ නිසාම විශ්ව පිළිබඳ සෙවීම කෙසේ වුවත්, මොලී දිගටම පර්යේෂණය සඳහා දායක කර ගැනීමට ජනරාල් වෙලිංටන් සහ ආචාර්ය ලිපර්ඩ් තීරණය කර තිබුණා.

දින කිහිපයක් විවේකයෙන් පසු වූ විශ්වට දැන් සිය කටයුතු තනිවම කරගෙන යෑමට හැකි තත්ත්‍වයකට පත්ව තිබුණා. මේ නිසා මොලීත් පසුවුණේ තරමක සැහැල්ලුවකින්. නිතර නිතර ඔහුගේ සුව දුක් විචාරන්නට ගිය ඇය පෙරටත් වඩා සමීපව කටයුතු කළා. ජීවිතයේ පළමු වතාවට විශ්වටත් වෙනත් කෙනෙකුගේ ආධාර උපකාර ලැබීම පහසුවක් බව පෙනී ගොස් තිබුණා. මේ නිසාම ඔහු මොලීව සිය ජීවිතයෙන් ඈත් කිරීමට උත්සාහ ගත්තේ ද නැහැ.

“වෙල්කම් බැක්…… ආචාර්ය ලිපර්ඩ් නැවත පර්යේෂණාගාරයට පැමිණි විශ්ව පිළිගත්තේ හෘදයාංගමව සිනාමුසු මුහුණින්….”

“දැන් ඉතිං වැඩ ගොඩක් ඉවර කරන්න තියෙනවා තරුණයා…. මම හිතනවා ඔබ නැවත සුපුරුදු සුවතාවයෙන් ඉන්නවා කියලා…”

“ඔව් ඩෙනිස්… දැන් සියයට අනූවක්ම හොඳයි… මම ආපසු ආවෙත් දැන් මට කරන්න තියෙන වැඩ සියල්ලම සැලසුම් කරගෙනයි… අද ඉඳලම වැඩ ටික පටන් ගන්න පුළුවන්. මොලී සෑහෙන ගණනය කිරීම් ප්‍රමාණයක් කරලයි තියෙන්නෙ.. දැන් ඉතින් අපට තියෙන්නේ ඒ ගණනය කිරීම් ආශ්‍රයෙන් ඉතිරි පර්යේෂණ ටික ඉදිරියට ගෙන යන්නයි.”

“බොහොම හොඳයි…. මමත් හිතුවෙ ඔයා විවේකීව ඉන්න කාලයේ මේ පර්යේෂණ ගැන හිතන්න ඇති කියලයි. කොහොමත් අපට උණක් තියෙනවනෙ පර්යේෂණ ගැන නොසිතා ඉන්න බැරි…. සිකුරාදා තියෙන ප්‍රගති සමාලෝචන රැස්වීමට පිටින් කිහිප දෙනෙක් එනවා. ඒ නිසා තරමක් වැඩි සැලකිල්ලකින් දත්ත ඉදිරිපත් කරන්න ඕන… ඔයා අසනීපව සිටිය නිසා තරමක සහනයක් තියෙනවා. නමුත්, මේ අවස්ථාවේ ඔයාල හැමෝ ගැනම තියෙන බලාපොරොත්තු බොහොම ඉහළයි. මේ නිසා සමහර වෙලාවට ටිකක් විවේචනාත්මකව මේ අය පර්යේෂණ ගැන ප්‍රශ්න කරාවි. ඒවට පිළිතුරු දෙන්න සූදානම් වෙලා ඉන්න…”

“හොඳයි ඩෙනිස්… බොහොම ස්තූතියි දැනුම් දීමට… කොහොමත් අපි දෙන්නා ප්‍රගති සමාලෝචන රැස්වීමට අවශ්‍ය කරුණු එකතු කරලයි තියෙන්නෙ.. මේ දවස් දෙකේ ඒවා නැවත සාකච්ඡා කරලා අවසාන නිගමනය ගන්න පුළුවන්. කොහොමත් අපි බ්‍රහස්පතින්දාට ඒ සියල්ල ඔබට පෙන්වන්නයි හිතාගෙන හිටියෙ.”

“බොහොම අගෙයි… බොහොම ස්තූතියි…. බ්‍රහස්පතින්දා වෙලාවක් වෙන් කරගෙන අපි කතා කරමු….”

“සුබ දවසක්…”

“සුබ දවසක් ඩෙනිස්…. පසුව හමුවෙමු….”

නැවත පර්යේෂණායතනයට පැමිණි විශ්ව දවස ආරම්භ කළේ ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් හමු වී සිය ප්‍රගතිය මෙන්ම ඉදිරි උපදෙස් ද ලබා ගැනීමෙන් අනතුරුවයි.

ඔහු සිය මේසය වෙත යනවිට සියල්ලන් බොහොම හෘදයාංගමව පැමිණ පිළිගත්තා…

“ආයෙ නම් ඉතිං මේ වගේ අනතුරු කර ගන්න එපා… දැන් මාසයකටත් වැඩියි නේ ඔයාගෙ නොපැමිණීම…… බිල් ඔහුව පිළි ගත්තේ අවවාදයක් ද එකතු කරමින්….”

“ඔව්… දැන් නම් බොහොම පරිස්සම් වෙන්න ඕන……. දැන් වැඩිය වාහන එළවන්නෙත් නෑ.. අත්‍යවශ්‍ය කාරණයකට ඇරෙන්න… අදත් ආවෙ මොලී එක්ක….”

“අහ්.. අපිට ඒව කියන්න ඕන නෑ මිත්‍රයා… අපි ඒවා දන්නවා… කොහොම වෙතත් පරිස්සමින්….. අපි දැන් වැඩට බහිමු… ඔයා නැතිව අපටත් සෑහෙන අතපසුවීම් සිදු වුණා….”

විශ්ව සිය මේසයේ වාඩි වුණේ සෑහෙන බරක් සිතේ දරාගෙන… බොහෝ දෙනෙකුගේ අපේක්‍ෂාවන් වගේම පර්යේෂණවල සමහර කොටස් තමාගේ නොපැමිණීම නිසා අතපසු වී ඇතිබව දැනුන ඔහු සිය වැඩ කොටස ඉක්මන් කළ යුතු බව තේරුම් ගත්තා…. සිය නිවසේ සිටිය දී කියවූ පර්යේෂණ පත්‍රිකා සහ කෙටි සටහන් එකතු කරගත් ඔහු සිය අවධානය සම්පූර්ණයෙන්ම පර්යේෂණය වෙත යොමු කළේ මෙහි කිසියම් කෙළවරක් ඉක්මනින් දැක ගැනීමේ අටියෙන්.

නිවසේ විවේකීව ගතකළ කාලයේ දී ආයෙමත් පැරණි සටහන් කියවා මතකය අලුත් කර ගෙන තිබූ නිසා, නැවැත්වූ තැනින් පටන් ගැණීම විශ්වට එතරම් අපහසුවක් නොවූවත්, එකතැන තරමක් වෙලාවක් වාඩි වී සිටීම තවමත් තරමක් අපහසුතාවයක් ලබා දුන්නා.. ඒ නිසාම විශ්ව සිය අසුනෙන් ඉවත් වී පර්යේෂණාගාරයේ තිබූ ආහාර පිළියෙල කරන කුඩා කුස්සිය වෙත සෙමින් පියමැන්නා….

ඒ වන විටත් මෙගන් සහ සිමෝනා කිසිවක් රහසින් කතා කරනු විශ්වට දැනුණා…. එක වරම මහ හඬින් සිනාසුනු දෙදෙනාම විශ්ව එතැනට පැමිණෙන විටම නිහඬ වුණා…

“අහ්… සමාවෙන්න බාධා කළා නම්…”

“අයියෝ නැහැ… අපි කතා කළේ එදා පාටි එක ගැන. එදා පාටි එක සෑහෙන්න හොඳට තිබුණා.. මමත් සෑහෙන විනෝද වුණා….. අපි යනකොට ඔයාට නම් හොඳටම නින්ද ගිහින් තිබුණෙ…. ඒ නිසා අපි ඔයාව ඇහැ ඇරෙව්වෙත් නැහැ….” මෙගන් කිවුවා.

“ඔව්… මමත් යනකොට රෑවෙලා… මම අස්පස් කරන්න මොලීට උදව් කරලයි ගියේ… මම යනකොටත් ඔයා නිදි… මොලී යනකොට ගොඩක් රෑ වෙන්න ඇති නේද විශ්ව?” සිමෝනා ඇසුවේ තරමක උපහාසය මුසු ස්වරයකින්.

“නැහැ… එදා රෑ මොලී ගෙදර ගියේ නැහැ… එයා මගේ ගෙදර නැවතුණා….”

“ඉතිං.. මෙගන්ට ඉවසගන්න බැරිව මැදට පැන්නා…..”

“ඉතිං නේද?…..” එසේ අසමින් විශ්ව සිය කෝප්පයට ජලය බෙදාහරින ඩිස්පෙන්සරයෙන් මඳ උණු ජලය පුරවාගෙන…

“ඉතිං…. ඔබ ඒක සොයාගන්න…. විශ්ව සිනාසෙමින් සිය අසුන වෙත ගියේ තරුණියන් දෙදෙනා සිතිවිලි ලෝකයක අතරමං කරමින්…..”

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

FREE Shipping on orders over Rs.1500/= Dismiss