SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 31

ක්‍රම ක්‍රමයෙන් සියල්ල යථා තත්ත්‍වයට හැරෙද්දී, විශ්ව සිය පූර්ණ අවධානය යොමු කළේ පර්යේෂණය වෙතයි. මොලීගේ ගණනය කිරීම් සමඟ සිය උපකල්පන සමපාත වෙද්දී, ක්‍රමයෙන් සිය පර්යේෂණයේ සාර්ථක භාවය ලඟා වන බව විශ්වට අවබෝධ වුණා… ප්‍රගති සමාලෝචන රැස්වීමේදී පැමිණ සිටි පර්යේෂකයන් සහ මහාචාර්යවරුන් නොයෙකුත් ප්‍රශ්න ඇසුවත්, ඒ සියල්ලන්ටම අවබෝධ වූයේ මේ පර්යේෂණය තමන් අපේක්‍ෂා කළ දිශානතියට ගමන් කරන බව නිසා වැඩිදියුණු කළ යුතු ආකාරය මිසක්, පර්යේෂණයේ මහා විශාල වැරැද්දක් පෙන්වා දීමට කිසිවෙකු සමත් වූයේ හෝ අවධානය යොමු කළේ නැහැ… නමුත්,

“විශ්ව… දැන් ඔබ කියන්නේ මේ වායු අංශු අයනීකරණය කළ පසු, එහි ඝණත්‍වය අඩු වීම නිසා ඒ අතරින් ගමන් කරන වස්තුවකට ඇති කෙරෙන ඝර්ෂණය අඩු වෙනවා කියල ද?”

ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයයෙන් පැමිණ සිටි මහාචාර්ය කැතරින් වොට්සන් විශ්වගෙන් ඇසුවේ සිය පර්යේෂණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇති වූ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වටයේ දීයි.

“ඔව්, නමුත් සියයට සියයක් නිවැරැදි නැහැ…. අපි මෙතැනදී කතා කරන්නේ ප්ලාස්මාවක් ඇතිවීම ගැන… ඔබ දන්නවා, ප්ලාස්මාව කියන්නේ පදාර්ථයේ සිව් වන අවස්ථාව, මෙතැනදී සිදු වන්නේ වාතය අයනීකරණය වීම, නමුත් වාතය අයනීකරණය වීම නිසා වාතයේ ඝණත්‍වය අඩු වීමක් සිදු වනවා යැයි පැහැදිලිව තවමත් කියන්නට බැහැ. එසේ වුවත්, මේ ගණිතමය සංකල්පය අනුව ප්ලාස්මාවක් හරහා යන වස්තුවක වේගය සාමාන්‍ය වායුවක් හරහා යන වස්තුවක වේගය හා සසැඳීමේ දී කිහිප ගුණයකින් වැඩි විය හැකියි. මේ නිසා ඒ වස්තුවට ඒ ප්ලාස්මාව හරහා යෑමේ දී වැයවන ශක්තිය කිහිප ගුණයකින් අඩු වෙනවා. එවිට වැයවන ඉන්ධන ප්‍රමාණයත් අඩු වන නිසා ඉතා විශාල ඉතිරියක් ලබා ගන්න පුළුවනි.”

“ඔබ ඒ ඉතිරිය ගණනය කළේ නැද්ද?”

“නැහැ…. අපි තවමත් ඒ ඉතිරි වන ඉන්ධන සහ බලශක්තිය ගණනය කළේ නැහැ. මොකද කියනවා නම්, ඒ සියල්ල රඳා පවතින්නේ වස්තුවේ ස්කන්ධය සහ ක්‍ෂෙත්‍රඵලය මත. වස්තුවේ වර්ගඵලය වැඩි වීමේ දී මේ ඝර්ෂණය වෙනස් වෙනවා. එසේම ස්කන්ධය මත තමයි වැයවන ඉන්ධන ප්‍රමාණය ගණනය කැරෙන්නේ… නමුත් ඒකක වර්ගඵලයක ඒකක ස්කන්ධයක සිදුවන අන්තර් සම්බන්ධතාවයේ වාසිය ගතහොත්, එය 35% ක ඉන්ධන ප්‍රමාණයක ඉතිරියක්.” විශ්ව එසේ කියද්දී බොහෝ දෙනා මුහුණට මුහුණ බලාගත්තත්, මහාචාර්ය කැතරින් වොට්සන් ලෙහෙසියෙන් යමක් භාර ගැනීමට කැමැති තැනැත්තියක් නොවේ…

“හරි… ඒක එහෙම වුණා කියමු, එතකොට ප්ලාස්මාව ජනනය කරන්න කොච්චර ශක්තියක් වැය වෙනවද?….”

“අපි ඒක ගණනය කළා… ප්ලාස්මාව ජනනය කිරීමට එතරම් ඉන්ධන වැයවීමක් සිදු වන්නේ නැහැ…” විශ්ව පිළිතුරු දුන්නා.

“එතරම්? කොපමණක් ද?”

“ඇත්තෙන්ම කියනවා නම් ප්ලාස්මාව දෙආකාරයකට සැකසිය හැකියි. විද්‍යුත් සහ චුම්භක ලෙසින්. ඝණ මීටර එකක පරිමාවක ප්ලාස්මාව ජනනය කිරීමට ගතවන බලශක්තිය එක් එක් ක්‍රමය අනුව වෙනස් වෙනවා. විද්‍යුත් ප්ලාස්මාවක් තැනීමට යන බලශක්තියෙන් දහයෙන් එකක්වත් චුම්භක ප්ලාස්මාවක් තැනීමට ගත වන්නේ නැහැ..”

“එසේ නම් ඔබ කියන්නේ ප්ලාස්මාවක් ජනනය කරලා ඒ තුළින් වස්තුවක් ගමන් කිරීමට සැලැස්වීමෙන් වායු ඝර්ෂණය අවම කරලා එහි බලශක්තිය පිරිමසාගන්න පුළුවන් කියලා ද?”

“ඔව්….. මේ ක්‍රමය නිසා අපට සහතිකවම බලශක්තිය සියයට 30ක ඉතිරියක් කරගත හැකියි…. විශ්ව ඉතාමත් විශ්වාසයෙන් යුතුව පිළිතුර නිමා කළා…”

නමුත් ඇය නැවතත් කටහඬ අවදි කළා… “ඔබ මේ කතා කරන්නේ ගණිතමය සංකල්පයක් මත සිට, එහි දී ඔබේ උපකල්පන පදනම් වී තිබෙන්නේ පරිපූර්ණ වායු සමීකරණය මත, නමුත් මෙය ප්‍රායෝගිකව උපයෝගී කර ගැනීමේ දී සිදු වන්නේ සැබෑ වායූ සහ වායු මිශ්‍රණ සමගයි. එපමණක් නොවෙයි, මේ වායු මිශ්‍රණවල සංයුතිය ස්ථානයෙන් ස්ථානයට, සහ පරිසරයේ අඩංගු සංඝඨක ප්‍රමාණය මත පවා විචල්‍ය වෙනවා… එවිට ඔබේ මේ උපකල්පන බිඳ වැටෙනවා නේද?”

“විශ්වත්, මොලීත්, එතැන සිටි සියලුම දෙනාත් අන්දමන්ද කරමින් ඇය ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් ඇසුවා.”

“ඔබ හරි….” අවසානයේ මොලී නැගී සිටියා…

“මේ ගණනය කිරීම් සිදු කළේ මම.. මා මෙහිදී පළමුවෙන්ම උපකල්පනය කළේ සංවෘත පද්ධතියක් තුළ පරිපූර්ණ වායුවක හැසිරීම පදනම් කරගෙන. එහිදී මම වායු අණු අතර වූ ඝට්ටන පවා අතහැර ගණනය කිරීමක් කළා.. මෙහි දී අප උපකල්පනය කළ දෙයක් තමයි වායු අණු අතර ඝට්ඨන අහඹු ලෙස සිදුවීමේ දී එහි සම්ප්‍රයුක්තය ශුන්‍ය වන බව. මේ නිසා එයින් අපේ ගණනයට බාධාවක් නැහැ. නමුත්, මේ වායූන් සැබෑ වායුවක් බවට උපල්පනය කිරීමේ දී එම වායු අණුවල පරිමාව, පීඩනය සහ අන්තර් අණුක සම්බන්ධතා වෙනුවෙන් නිවැරැදි කිරීම් අවශ්‍ය වෙනවා. අපි ඒ ගැනත් සැළකිලිමත් වුණා… ඒ ගණනය කිරීම් තවමත් සිදු වෙනවා. ඔබ පැවසූ අනෙක් දෙය, වායු මිශ්‍රණයක් තුළ සිදුවන හැසිරීම අපට තවම ගණනය කිරීමට නොහැකි වුණා. නමුත් අපේ සැළසුමේ ඒ සියල්ලම තිබෙනවා. වායුගෝලයේ අඩංගු සියලුම සංඝඨකවල තනි තනි ගණනය කිරීම් සියල්ල අවසන් වූ පසු, වායු මිශ්‍රණවල විවිධ සංයුතීන් මේ ගණනය කිරීම්වලට ඇතුළත් කරන්න පුළුවනි. උදාහරණයක් ගතහොත්, සාමාන්‍ය වායුගෝල සංයුතිය වන ඔක්සිජන් සියයට 21ක් වන ඔක්සිජන් ප්‍රතිශතය සහ සියයට 78ක් වන නයිට්‍රජන් ප්‍රතිශතය පවා තැනින් තැනට වෙනස් වෙනවා. මේ නිසා අපි මේ ගණනය කිරීම් 20-21 සහ 78-79 කියන පරාසයන් තුළ ගණනය කළ යුතුයි. එසේම කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉතාම විශාල ලෙස විචලනය වෙනවා. මේ නිසා එය සියයට 0.03 සිට සියයට 0.05 දක්වා ගණනය කළ යුතුයි. එපමණක් නොවෙයි, වඩාත්ම බැරෑරුම් ගණනය කිරීම වන්නේ වායුගෝලයේ අඩංගු අංශු සාන්‍ද්‍රණය ගණනය කිරීමත් මෙතැනට එකතු වූ විටයි.”

“ඔබ කිව්වා වගේම මේ ගණනය කිරීම් සරළ නැහැ. මේ සියල්ල තව හත් අට වතාවක් විවිධාකාර මූලික පද්ධතීන් සමඟ ගණනය කිරීම් කළ යුතුයි. එසේම මේ ගණනය කිරීම්වලට සැබෑ අවස්ථාවල සුළඟේ වේගය එකතු කර නැහැ. මෙය ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක්. මේ නිසා මම හිතන්නේ මේ ගණනය කිරීම් තවත් මාස කිහිපයක් දක්වා ඇදී යන්න පුළුවනි. මේ ගණනය කිරීම් අවසානයේ මේ ප්ලාස්මා පද්ධතියේ මූලික සැකැස්ම ප්‍රායෝගිකව සැකසීමට තවත් අවුරුද්දක්වත් ගතවේවි. එහි තියුණු වෙනස්කම් කිරීම තවත් කාලයක් ගතවේවි… ඔබ දන්නවා මේ පර්යේෂණයට අවම අවුරුදු පහක කාල පරාසයක් සැලසුම් කර ඇති බව.. මේ තාක් අපේ ගණනය කිරීම් උපකල්පන මධ්‍යයේ වුවත් සාර්ථකයි… නමුත් මේ සියල්ල ප්‍රායෝගිකව අත්හදා බැලීමේ දී විවිධ ප්‍රශ්නවලට අපි ලක් වේවි…”

මොලී දීර්ඝ පැහැදිළි කිරීමක් කළා.. කිසිවෙකු බාධා කළේ නැහැ…

“හොඳයි… ඇත්තෙන්ම ඔබ දෙදෙනාම මේ පර්යේෂණය පිළිබඳ හොඳ අවබෝධයකින් සිටින බව පෙනෙනවා. මේ පර්යේෂණය සෑහෙන දුෂ්කර එකක්, මෙහි උපකල්පන කොපමණ තිබුණත්, ප්‍රායෝගිකව කරන්න යෑමේ දී සෑහෙන අතුරු බාධාවලට මුහුණ පාන්න සිදු වේවි. නමුත් මේ ප්‍රගතිය සෑහෙන හොඳයි… මම හිතන්නේ ඔබට පසුගිය මාස කිහිපයේ සිදු වුණ අනතුර නිසා තමයි මේ තරමකට හෝ මෙය ප්‍රමාද වුණේ… අපට බොහොම සංතෝෂයි ඔබ නැවතත් යථා තත්ත්‍වයට පත්වීම සහ මේ පර්යේෂණයේ ප්‍රගතිය ගැන….”

ජනරාල් වෙලිංටන් සිය සතුට පළ කිරීම කලාතුරකින් සිදුවන්නක් වුවත්, විශ්ව සහ මොලීගේ ඉදිරිපත් කිරීම ඉතා හොඳ මට්ටමක පැවතීම නිසාම ඒ පිළිබඳ එතරම් විමතියක් වූයේ නැහැ. සර්වතෝභද්‍රවාදියෙකු වන ජෙනරාල් වෙලිංටන්ට සියල්ල පරිපූර්ණව නැතිනම් කිසිදා ප්‍රසාදය පළ කරන්නෙකු නොවන නිසා බොහෝ දෙනා ඔහු හා ගණුදෙනු කළේ ඉතාම පරිස්සමින්. ලිපියක පවා වචනයක්, තිතක් හෝ කොමාවක් වුවත් වැරැදි තැනක තිබුණ හොත්, නැවත සියවතාවක් හෝ නිවැරැදි කරවන ඔහු, සිය පරිපූර්ණ භාවය තමා කෙරෙන් ද නිතරම ප්‍රදර්ශනය කළා. එසේම වෙනත් අය නිතර නිතර වැරැදි කරනවා නම් නයෙකු සේ කිපෙන ඔහු සිය සේවා කාලය තුළ සිය නිවසේ සේවයෙන් පහ කළ සේවකයන් ගණන ද කෙතරම් දැයි කියන්නට බැරි තරම්. මේ බව දන්නා බොහෝ දෙනා ජෙනරාල් වෙලිංටන් කෙරෙහි දැක්වූයේ ඉතාමත් බයක්. ඔහුගෙන් හොඳක් ඇසීමට වඩා ඉබ්බෙකුගෙන් පිහාටුවක් ගැනීම පහසු බව ක්‍ෂෙත්‍රයේ බොහෝ දෙනා පවසන්නේ පුරුද්දට නොවේ.

ප්‍රගති සමාලෝචනයෙන් පසුව එදින ගත වුණේ එහි විවේචන අඩුපාඩු සහ පළකළ අදහස් නැවතත් විමසා බැලීමට. මේ නිසා බොහෝ දෙනා කුඩා කණ්ඩායම් ලෙස එකතු වී තම තමන්ගේ පර්යේෂණ පිළිබඳ අදහස් නැවත නැවතත් විමසා බැලුවා.

මොලී සහ විශ්ව වෙත පැමිණියේ ආචාර්ය ලිපර්ඩ්…..

“මට බොහොම සංතෝෂයි මේ කරදර මැද වුණත් ඔයාල දෙදෙනා ලබා ගනිපු ප්‍රගතිය ගැන.. කැතරින් කියන්නේ කටු අත්තක් වගේ කෙනෙක්. ගැලවෙන්න බොහොම අමාරුයි.. නමුත් ඔයාලා දෙන්නා ඇයව පාලනය කර ගත්ත හැටි බොහොම අපූරුයි. ඒ නිසාම තමයි ජෙනරාල් සංතෝෂ වුණේ…”

“බොහොම ස්තුතියි ඩෙනිස්… මේක මේ ගානට ගෙනාවෙ මොලී.. එයාගේ ගණනය කිරීම් නොවන්නට අපිට කිසිම දෙයක් ඉදිරිපත් කරන්න ඉතිරි වෙන්නෙ නැහැ.. මමත් පසුගිය මාසයෙම එක දිගට යමක් කරගන්න බැරි තත්ත්‍වයක නෙ හිටියෙ…” විශ්ව එසේ කියුවේ ඇත්තෙන්ම තමා අනතුරට පත්ව සිටි කාලයේ දී පවා සිය පර්යේෂණය සඳහා වන ගණනය කිරීම් සියල්ල මොලී විසින්ම සිදු කර තිබූ නිසා…

“ඉතිං…….” ආචාර්ය ලිපර්ඩ් එතැනින් පිටත්ව ගිය පසු මොලී විශ්වගෙන් ඇසුවේ ප්‍රශ්නයක්ද, එසේත් නැතිනම් වෙනත් හැඟීමකින් ද යන්න විශ්වට තෝරා බේරා ගත නොහැකි වුණා…

 

 

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

FREE Shipping on orders over Rs.1500/= Dismiss