
පිටස්තරයා 32
“අපි අද රෑ කෑමට එළියට යමු ද?”
මොලී විශ්වගෙන් ඇසුවේ “ඉතිං” ප්‍රශ්නයට පිළිතුරක් නොලැබූ නිසා…
ඒ ප්‍රශ්න දෙක අතරේ විශ්ව සිටියේ කල්පනාවක නිමග්න වෙලා… නමුත් එය මොලීගේ ‘ඉතිං’ ප්‍රශ්නයට පිළිතුරක් සොයන අටියෙන් නොවෙයි…
“විශ්ව…….” මොලී නැවතත් විශ්ව ඇමතුවා…
“ඔව්… ඇයි?”
“ඔයා හිටියෙ මේ ලෝකෙ නෙවෙයි නේද? මම අහපු ප්‍රශ්න දෙකම ඔයාට ඇහුනෙ නෑ නේද?”
මොලී ඇසුවේ විශ්වගේ දෑසට එබෙන අතරේ…
“හ්ම්…. ඔව්… මම මේ වෙනත් දෙයක් ගැන තමයි කල්පනා කර කර හිටියේ….”
“ඔයා මොකද්ද කිවුවෙ?”
“මම ඇහුවෙ, අපි අද රෑ කෑමට එළියට යමු ද කියලා….”
“හා….. නමුත් ඔයා දන්නවනේ මගේ කෑම රටාව…. ඔයා ඒ දේවලට අනුකූල තැනක් හොයන්න….”
“ඔයා නම් මහ පුදුම කෙනෙක් විශ්ව…… කිසිම දෙයක් ගැන කිසිම ඕනකමක් නෑ,…… ඔහොම පුළුවන් ද ජීවත් වෙන්න සමාජයක?”
“ඇයි මොලී… මම මේ මෙච්චර කාලයක් ජීවත් වුණේ? මට මොනවයින් කියලා වෙනසක් තියෙනව ද? මට අවශ්‍ය නිදහස, මට අවශ්‍ය කෑම බීම, මට අවශ්‍ය ජීවිතය තියෙනවනෙ…. ඉතිං වෙන මොනවද ඕන?”
“ඔයාට කිසිම දෙයකින් අඩුවක් නැද්ද එතකොට?”
“අපොයි තියෙනවා…. මට ජීවිතේ අඩුපාඩු ගොඩක් තියෙනවා. නමුත් ඒ කිසිවක් නැහැ කියලා මම ඒවා අනවශ්‍ය ලෙස ලබා ගන්නවත්, ඒ මත්තේ මැරෙන්නවත් යන්නෙ නෑ,….. ලැබෙන විදියට ජීවත් වෙනවා….. ඇයි,? ඒක ඔයාට ප්‍රශ්නයක්ද?”
“ඔන්න ඕක තමයි මම කිවුවෙ ඔයා මහ පුදුම කෙනෙක් කියලා…. වෙන මිනිස්සු ඒ අයගේ හීන පස්සේ දුවනවා… ඔයා ගොඩක් ඉහළට යන්න හැකියාව තියෙද්දිත්, ඒ ගැන වැඩ කරන්නෙ නෑ….”
දෙදෙනාගේ සංවාදයට තිතක් තැබුණේ විවර වී තිබුණ දොරට තට්ටු කරන හඬක් නිසා…
“මොකද දෙන්නා රණ්ඩු වෙන්නෙ? ගෙදර යන්න අදහසක් නැද්ද? මහාචාර්ය ලිපර්ඩ් වැඩ නිම වී නිවස කරා යන අතරේ ඔවුන්ගේ කාමරය පසුකරගෙන යද්දි ඇසුවේ විහිළුවට වගේ….”
“අහ්…. දන්නෙම නැතිව වෙලාවත් පහු වෙලා නේද? සුබ රාත්‍රියක් ඩෙනිස්, අපි ඉක්මනින් යනවා..”.. මොලී සිනාවෙමින් මහාචාර්ය ලිපර්ඩ් ට සමු දුන්නේ යමක් නැවතත් කියන්න ඉඩක් නොතබමින්…
සියලුම දෙනා පර්යේෂණාගාරයෙන් පිටවෙද්දි, මොලීත් විශ්වත් පමණක් තවත් පැයක් පමණ ඔවුන්ගේ කාර්යාල කාමරයේ තනිව යමක් සාකච්ඡා කළා.
෴
“මට හරිම සතුටුයි ඔයා නැවතත් සාමාන්‍ය තත්ත්‍වයට ආපු එක ගැන….” අවන්හලේ දී මොලී බොහොම ලෙන්ගතුව විශ්වට මිමිණුවා…
කෙසේ හෝ විශ්ව රෑ කෑමට පිටතට රැගෙන යෑමට හැකිවීම ගැන මොලී පසු වුණේ සතුටින්… තමන්ගේ සැලසුමේ තවත් කොටසක් අද ඉටු කර ගැනීමට හැකියාව ලැබීම ඒ සතුටට හේතු වුණා… පර්යේෂණාගාරයේ පැවති දීර්ඝ සාකච්ඡාවෙන් පසු ඉක්මනින්ම සිය නවාතැනට ගිය මොලී සාමාන්‍යයෙන් අඳින කලිසම සහ ටී ෂර්ට් එක වෙනුවට විශාල මල් මුද්‍රණය කළ දනිස්සට වඩා මඳක් කෙටි ගවුමකින් සැරසී සිටියා. ඇත්තෙන්ම ඈ පියකරුයි – අහිංසක පාටයි. විශ්වත් ඩෙනිම් කලිසමක් සහ ශර්ට් එකක් හැඳ සිටියේ. අවට සිටි කිසිම කෙනෙකුට මේ දෙදෙනා පෙම්වතුන් නොවේ යැයි අනුමාන කිරීමට කිසිම හැකියාවක් තිබුණෙ නැහැ. සාමාන්‍ය පෙම්වතුන් කරගන්නා හාදු හුවමාරුව හැරෙන්නට බාහිරව පෙනෙන ලෙස ඒ තරමටම මොලී විශ්වට සමීපව සිටියා.
“ඇයි ඔයා එහෙම කියන්නෙ?” පානයට ගෙන ආ දෙහි යුෂ වීදුරුව අතට ගන්නා අතරේ විශ්ව විමසුවා.
“ඇයි අනේ…. ඔයා මුලින්ම ඇක්සිඩන්ට් වුණා… ඊට පස්සේ ඒ ප්‍රතිකාරයෙන් පස්සේ තවත් ආසාදන ආවා… ගෙදර කැමරා හයි කරලා ඔයාව මොනිටර් කළා.. ඒ ප්‍රශ්න සියල්ලම දැන් විසඳුනානෙ… ඒ විතරක් නෙවෙයි, ඔයා දැන් පුරුදු විදියට ආයෙම පර්යේෂණාගාරයෙ උපරිම ධාරිතාවයෙන් වැඩ… හැමෝම දැන් ඔයාගෙ පර්යේෂණය දිහා ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ… ඉතින් දැන් ඒක හොඳ නැද්ද?”
විශ්ව මොලීගෙ මුහුණ දිහා බලාගෙන හිනා වුණා.
“නරක නැහැ… නමුත්, ඒක ද ජීවිතේ කියන්නේ?”
“ඇයි විශ්ව….? ඔයා හැම තිස්සෙම ජීවිතේ හොඳ පැත්ත අතෑරලා නරක පැත්තක් ගැන හිතන්න හදන්නෙ? අනිත් මිනිස්සු වගේ මේ ලෝකෙ ජීවත් වෙන්නකො…. මම ඔයාගෙ ආහාර රටාව වත්, ජීවන රටාව වත් වෙනස් කරන්න හදනවා නොවෙයි… නමුත් මම හිතන්නෙ ඔයා ඔයාටම ලොකු සීමාවන් පනවගෙන ජීවිතේ විඳීම සීමා කරගෙන තියෙනවා. අපි ලබන්නෙ එක ජීවිතයයි.. ඒකත් මේ සීමා ගොඩාක් පනවගෙන විඳවනව නම් වැඩක් නැහැ නේද?”
එවිට විශ්ව ඇඟිල්ල එසවූවා…
“නැහැ…. මම හිතන්නෙ නැහැ අපි ලබලා තියෙන්නේ එක ජීවිතයයි කියලා…. සමහරවිට ඔයාගෙ ආගමේ ඔයා දන්නෙ එක ජීවිතයක් කියලා විතරයි… නමුත් බුදුදහමේ පැහැදිලිවම කියලා තියෙනවා මේක සංසාර චක්‍රයක් කියලා… සමහරවිට අපි මේ ගැන කතා නොකර ඉන්න එක හොඳයි.. මොකද ආගම සහ දේශපාලනය මම ප්‍රසිද්ධව හෝ වෙනත් කෙනෙකු සමඟ තර්ක කරන්න අකමැති විෂයයන් දෙකක්.”
“හරි…. ඔයා ඒ සීමාව ඔයාට තියාගන්න.. නමුත්, ඇයි මේ ලෝකෙ විඳින්න තියෙන දේවල් විඳින්නෙ නැතිව වෙනත් නොපෙනෙන ලෝකයක සැප සම්පත් වෙනුවෙන් මේ ජීවිතය කැප කරන්නෙ? කවුද දන්නෙ අපි ඒ බලාපොරොත්තු වෙන සැප සම්පත් ඒ ආකාරයටම ලැබෙයි ද කියලා? ඇයි අපි නොපෙනෙන දෙයක් වෙනුවෙන් වර්තමානය කැප කරන්නෙ?”
“ඔයා හිතන්නෙ මම නිර්මාංශ වෙලා, සරළ ජීවිතයක් ගත කරන එක දුකක් කියල ද?” විශ්ව පෙරලා විමසුවේ මොලීගෙ තර්කය යන්නේ මොන පැත්තට ද කියන අනුමානය හිතේ ඇතිව…
“මම හිතන්නෙ ඔව්…. ඔයා ජීවිතයේ සහ සමාජයේ අපි අතර සතුටින් ඉන්නවා දැකලා තියෙන්නෙ බොහොම සුළු අවස්ථා කිහිපයක දී විතරයි. බලන්න අනිත් අය… විහිළු කරලා, කෑ ගහලා, හිනාවෙලා ඉන්නවා… ඔයා බොහොම නිහඬයි… වැඩිය විහිළු කරන්නෙ නෑ…. සද්දයක් නගලා කතා කරන්නෙවත් නෑනෙ…. මේ මාස කීපයටම ඔයා හයියෙන් හිනාවෙනවා වත් මම දැකලා නෑ….”
“මොලී… මොලී…”
“මම සන්තෝස වෙන්නේ මොනවයින් ද, කොහොම ද කියලා කවුරුවත් දැන ගන්න එක අවශ්‍යයි කියලා මම හිතන්නෙ නෑ,.. මිනිස්සු විවිධාකාර විදියට සන්තෝෂ වෙනවා. සමහරු සල්ලි පොදි ගහලා, ලොකුවට වියදම් කරලා, බොහොම වර්ණවත් විදියට ජීවත් වෙන එක සතුට කියලා හිතනවා. තවත් සමහරු වෘත්තියෙන ඉහළට ම ගිහිල්ලා, ලොකු ලොකු තානාන්තර ලබලා, නමට පිටිපස්සෙන් අකුරු ගොඩක් තියෙන විභාග පාස් කරලා, තමන්ගේ උගත්කම මේක කියලා ප්‍රදර්ශනය කරලා සතුටු වෙන වෙලාවල් තියෙනවා. තවත් සමහරු රූපය ලස්සනට තියාගෙන සමාජයේ හැමෝම තමන් දිහා බලනවය, තමන් අනිත් අයට වඩා කඩවසම්ය කියලා සතුටු වෙන අවස්ථා තියෙනවා. ඒ ඒ එක්කෙනාගේ සතුට එක එක විදියයි. මට පිටතට පේන්න සතුටු වෙන්න ඕනකමක් නෑ,.. මම සතුටු වෙන්නේ වෙනත් අවස්ථාවල දී. ඒක සමාජයට පේන්න අඬබෙර ගහලා කියන්න මට ඕනකමක් නෑ,.. ඒ වගේම අනිත් අය කරන කියන දේවලින් මම සතුටක් හෝ දුකක් ලබන්නෙ නෑ,.. මම මගේ ජීවිතය හොඳින්ම පාලනය කරනවා. ඒ නිසා මම සතුටු වෙන්නේ මොන දේකින් ද, මම දුකක් ලබන්නේ මොන දේකින් ද කියලා මම හොඳටම දන්නවා. ඉතිං, ඒ දේවල් ඒ ආකාරයට ලැබෙන විදියටයි මම වැඩ කරන්නෙ…”
වේටර්වරයෙක් පැමිණ විශ්වගේ සලාදයත්, මොලීගේ ඇනවුමත් සකසා නැවතත් යනතුරු විශ්ව මොලී දෙස නිහඬව බලාගෙන සිටියා…
එදා සතියේ දවසක් වූ නිසා අවන්හලේ වැඩිය සෙනඟ සිටියෙ නැහැ… මේ නිසා දෙදෙනාගේ සංවාදයට කිසිවකුගෙන් බාධවක් වුණේවත්, වැඩි සද්දයක් නැති නිසා අනවශ්‍ය අවහිරයක් තිබුණේවත් නැහැ.
“අනේ මන්දා විශ්ව… ඔයා නම් තේරුම් ගන්න බැරි සංකීර්ණ චරිතයක්…”
“ගොඩක් දෙනෙක් කියන්නෙ එහෙමයි.. නමුත් මට නම් බොහොම සරළයි. මගේ අවශ්‍යතා අවමයි. මගේ සම්බන්ධතා අවමයි. ඒ නිසා ප්‍රශ්න අඩුයි… අනිත් අයට ඒක පේන්නේ සංකීරණ විදියට… නමුත්, බලන්න… මම කන ආහාරයේ පටන් සියල්ලම බොහොම අවම සංකල්පයක් තියෙන්නෙ… මම කන්නෙ එලවළු විතරයි. ඒ නිසා මගේ ඇඟට අනවශ්‍ය ආකාරයට එක එක දේ එකතු වෙන්නෙ නෑ… මට ආහාරයකින් අවශ්‍ය එදිනෙදා ජීවිතය ගෙනයෑමට අවශ්‍ය ශක්තිය, පෝෂ්‍යපදාර්ථ. ඒ සියල්ල මම ගන්න මේ ආහාරවලින් ලැබෙනවා. ඒ නිසා මට මස් මාළු, මත්පැන් ගන්න අවශ්‍ය නෑ… හැරත්, ඒවා ගත්තාම අනවශ්‍ය ලෙඩ කොච්චර අපි ඇඟට දාගන්නව ද? ඒ කිසිම ප්‍රශ්නයක් මට නෑ… මගේ ශරීරය පිරිසිදුයි. මේ නිසා මම මගේ වෙලාවෙන් සෑහෙන කාලයක් වැදගත් යමක් කරන්න ඉතිරි කර ගන්නවා. විශ්ව හිනාවෙමින් මොලීට කියලා දුන්නා…”
“අනේ මන්දා විශ්ව… ඔයාටත් හැම දේටම ඕන තරම් උත්තර තියෙනවා… හරි… අපි මෙතනට ආවෙ කෑම ගැනවත්, ඔයාගෙ ජීවන රටාව ගැනවත් රණ්ඩු වෙන්න නෙවෙයිනෙ.. අපි ආවෙ නිස්කලංකව සතුටින් කෑම ටිකක් කාලා වෙනසක් වෙන්න… අපි මේ කතාව නවත්වමු…”
“ඉතිං?”
“ඉතිං නේද? මොලී… ඇත්තෙන්ම මමත් සතුටුයි මේ ප්‍රශ්නවලින් එළියට ආපු එක ගැන… දැන් අපට පර්යේෂණය ගැන වැඩිපුර අවධානය යොමු කරලා ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන් වේවි…. ඒත්,…”
“ආ….. පෙම් කුරුල්ලො දෙන්නා අපටත් හොරෙන් කන්න ඇවිත් නේද?” එකවරම හුරුපුරුදු කටහඬක් ඇසුන නිසා දෙනොම ඒ දෙස හැරිලා බැලුවා.
෴