
පිටස්තරයා 33
“ආ… එතකොට මේ පෙම් කුරුල්ලො දෙන්නා මොකද මේ නිර්මාංශ අවන්හලේ කරන්නෙ?”
මොලී පෙරලා ඇසුවෙ බිල් සහ මෙගන් ගෙන්… ඔවුන් දෙදෙනාත් අවන්හලේ කෑම ගැනීමට පැමිණ සිටියා.. ඒක දෙදෙනාටම තරමක් ප්‍රහේලිකාවක් වුණත් වැඩි වෙනසක් නොපෙන්වීමට දෙදෙනාම වගබලා ගත්තා.
“මම නම් විශ්ව එක්කගෙන ආවෙ සෑහෙන කාලෙකින් විශ්ව එලියට නොගිය නිසා.. ඒ විතරක් නොවෙයි. අද අපේ පර්යේෂණයේ සාර්ථකත්‍වය සමරන්නත් එක්කයි අපි මෙතනට ආවෙ… එතකොට ඔය දෙදෙනා මොකද මේ පැත්තෙ?”
“අපිත් පොඩ්ඩක් එළියට ආවා… මෙගන්ටත් ඕන වුණා නිර්මාංශ ආහාර රස බලන්න… දැන් එයා බර අඩු කරගන්න උත්සාහ කරනවනෙ…. නේද?” බිල් මෙගන් දිහා උපහාසාත්මකව බලා පැවසුවා…
“ඔව්.. දැන් බර අඩු කරගන්න එක විතරයිනෙ මට අඩු…..”
“කමක් නෑ,.. අපිත් එක්කම එකතු වෙන්න….” විශ්වගේ ආරාධනයෙන් දෙදෙනාම ඉතිරිව තිබූ පුටු දෙකෙහි ඉඳගත්තා.. මොලීට නම් එය එච්චර සතුටක් වුණේ නැහැ.
“ඉතිං…….” මෙගන් එවර ඇසුවෙ විශ්ව දිහා බලාගෙන…
“ඉතිං නේද? අද පර්යේෂණ සාකච්ඡාව නම් හොඳයි… හැමෝටම සතුටුයි….” ඒ විශ්ව…
“මචං…. විශ්ව… අපි ජොබ් එක ගැන ජොබ් එක වෙලාවෙ විතරක් කතා කරමු ද?” බිල්ට තරමක් කේන්ති ගියේ විශ්ව කොයි වෙලාවෙත් තමන්ගේ පර්යේෂණය හෝ වෙනත් විෂයානුබද්ධ කරුණක් කතා කරනවා ඇරෙන්න වෙනත් යමක් කතා නොකරන නිසාමයි…
“දැන් ඔයාට හොඳ නිසා හැමෝටම සතුටුයි… ආයෙම ඉතිං දිගටම වැඩ ටික කරගෙන යන්න පුළුවන් නෙ…”
“මගේ අදහසක් නෑ දිගටම වැඩ කරගෙන යන්න… මම පොඩි විවේකයක් ගන්නයි අදහස් කරගෙන ඉන්නෙ… නමුත් මම ඇවිත් තවමත් මාස තුනක්වත් ගත වුණේ නැති නිසා ඒ විවේකය ගන්න වෙන්නෙ නැහැ…”
මොලීගේ දෑස් විශාලවනු විශ්ව දුටුවත්…..
“මම හිතාගෙන ඉන්නෙ ලංකාවට යන්න…. එහේ ඉන්න හොඳ ආයුර්වේද වෙද මහත්තයෙක්ගෙන් මේ තුවාලවලට බෙහෙතක් ගන්න…. එතකොට මේ ටයිටේනියම් ඇණ දාගෙන ඉන්න ඕන වෙන්නෙ නෑ….”
“ලංකාවට? ලංකාවෙ කොහොම ද මෙච්චර දියුණු අපේ තාක්‍ෂණයෙ නැති බෙහෙත් දෙන්නෙ?” මෙගන් විමතියෙන් ඇසුවා…
“මෙගන්,… ඔයා ලෝකය ගැන දන්නෙ බොහොම ටිකයි. ඉස්සර ඉන්දියාවෙ, ලංකාවෙ වෙද මහත්වරු හිටියා, අතේ වැටෙන නාඩි සංඛ්‍යාතය අනුව ඇඟේ කොතැන ද ලෙඩ තියෙන්නෙ කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඒ පරපුරින් පැවත එන පාරම්පරික බෙහෙත් තවම තියෙනවා. ඒවා මේ ආවට ගියාට කලබලයෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ටික කාලයක් එතැන ඉඳලා, ඒ කියන ආකාරයට පිළිපැදලා කරන්න ඕන බෙහෙත් ක්‍රම… අන්න ඒවා කරන්නයි මම ලංකාවට යන්න අදහස් කළේ.”
“විශ්ව කවද ද ලංකාවට යන්න තීරණය කළේ?” මොලී පුදුමයෙන් මෙන් ඇසුවේ නොයිවසිල්ලෙන්…
තීරණය කරලා නම් ටික දවසක්… නමුත් හරියටම යන දවසක් තවම තීරණය කරලා නෑ… කොහොමත් මම ඇතිවෙන්න නිවාඩු ගත්ත නිසා සෑහෙන කාලෙකට නිවාඩුවක් නම් ගන්න තීරණය කරලා නැහැ… නමුත්, හැකි ඉක්මනින්ම යන්න ඕන…” බිල් සහ මෙගන්ගේ ආහාර ලබාදීමට එතැනට පැමිණි වේටර්වරයාට ඉඩ ලබා දෙමින් විශ්ව තරමක් හරිබරි ගැසී වාඩිවන අතරේ පැවසුවා.
“මටත් ආසයි ලංකාවට යන්න… මම ග්‍රීසියෙන් එහාට ආසියාව පැත්තට ගිහිල්ලා නෑ…” මෙගන් පැවසුවේ විශ්වගේ ගමනට එකතු වෙන්න සූදානමින් වගේ…
“මම නම් එක පාරක් පකිස්ථානයට ගිහින් තිබෙනවා….” මොලීගෙන් කියවුණා.. හැමෝම ඒ දෙස බැලුවෙ සාමාන්‍යයෙන් ඇමරිකානුවෙක් පකිස්ථානය වගේ රටක සංචාරය කරනවා කියන්නේ බොහොම කලාතුරකින් සිදු වන දෙයක් නිසා
“පකිස්ථානයට?” මෙගන් පෙරළා ඇසුවේ නැවතත් සහතික කර ගැනීමට
“ඔව්.. පකිස්ථානයේ… පේෂාවර්වලට…”
“පේෂාවර්…? බොහොම භයානක පලාතක් නෙ… ත්‍රස්තවාදී කටයුතු සෑහෙන කෙරෙන පිටරට කෙනෙකුට යන්න බොහොම අවදානම් කලාපයක්… කොහෙද එහේ ගියේ? මොකටද ගියේ?” එවර බිල් ප්‍රශ්න කළා.
“ඔයා හරියට මගෙන් ප්‍රශ්න අහන්නෙ FBI එකෙන් වගේ නෙ… මම පේෂාවර් ගියේ මම ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ පුහුණුවක් ලබන කාලෙ…. ඒකෙ තිබුණු බොහොම වටිනා සිතුවමක මූල බීජය සොයන්න තුන්දෙනෙක් යැව්වා සති දෙකකට.. මමත් ඒ කණ්ඩායමට අයිති වුණේ දත්ත විශ්ලේෂණය කරන කෙනෙක් හැටියට….” මොලී ඒ සියල්ල පැවසුවේ සිය ආහාර පිඟාන දෙස බලාගෙන…. විශ්වට සිතුනෙ නම් මොලී නොකියා බැරිකමට යමක් කීවා මෙන්….
“පකිස්ථානය කියන්නෙ හරිම ලස්සන රටක්…. ත්‍රස්තවාදය තමයි මේ රටවල් නැති කරන්නෙ….” බිල් කොහොමත් ලෝක දේශපාලනය සහ සාමාන්‍ය දැනීම එක්ක ඔට්ටු වෙන කෙනෙක් නිසා ලෝකයේ සිදු වෙන සෑම දෙයක්ම පිළිබඳ මනා දැනීමක් ඇති කෙනෙක් ලෙස පැහැදිලි කළා…
මේ සිව්දෙනාගේ අල්ලාප සල්ලාපය සෑහෙන වෙලාවක් සිදු වුණේ ලෝකයේ ඇති සෑම මාතෘකාවක්ම මේසය මත දිගහරිමින්… ඉහළ සාමාන්‍ය බුද්ධියක් ඇති සිව්දෙනෙකු එකතු වූ විට කතා කෙරන දේවල වුවත් ඉතා ඉහළ බුද්ධිමය වටිනාකමක් දකින්නට පුළුවනි. එදා අවන්හලේ සෙනඟ වැඩිපුර නොසිටි නිසා, මේසය නැවත ලබාදීමේ අවශ්‍යතාවයක් පැමිණියෙත් නැහැ.. මේ නිසා මේ මිතුරු මිතුරියන් සිව් දෙනාට සිතු සේ සාකච්ඡා කර ගැනීමට ඉඩ ලැබී තිබුණා… විටින් විට වේටර්වරයෙක් පැමිණ ජලය හෝ දෙහි යුෂ බීම වීදුරුවක් ඔවුනට ලබාදෙනවා හැරෙන්නට ඔවුන්ට බාධා කිරීමටත් කිසිවෙක් සිටියේ නැහැ.
සියල්ල අවසානයේ හතරදෙනා අවන්හලෙන් පිටතට පැමිනුණා.
“කොහොමද යන්නෙ?” බිල් ඇසුවේ, තවමත් විශ්ව රිය පැදවීමට එතරම් කැමැත්තක් නොමැති බව දන්නා නිසා…
“මොලී මාව එක්කගෙන ආවෙ… එයා එක්කම යනවා…”
“එහෙනම්, අපිත් යනවා…. අපි නම් ආවෙ වෙන වෙනම…. හෙට හමුවෙමු… සුබ රාත්‍රියක්…. වැඩිය නරක වැඩ කරන්න එපා…” බිල් මොලී දෙස බලා උපහාසයෙන් එසේ කියමින් ඔවුන්ගේ වාහන වෙත ගියා…
“සුබ රාත්‍රියක් බිල්… මම ඒක බලාගන්නම්….” මොලී ද සිනාසෙමින් විශ්ව සමග මොලීගේ රථය වෙත ගියා…
“ඇත්තෙන්ම මොලී ඔයා පකිස්ථාන් ගියේ චිත්‍ර බලන්නම නොවෙයි නේද?” විශ්ව වාහනයේ දකුණු පස අසුනේ වාඩිවෙන අතරේ මොලී දෙස බලාගෙනම ඇසුවා.
“ඇයි එහෙම ඇහුවෙ? මම ස්මිත්සෝනියන් එකේ අවුරුද්දක්ම වැඩ කළා… එතන කලාකෘති ප්‍රතිස්ථාපන අංශයේ සෑහෙන ලොකු වැඩ කොටසක් මම කළා.”
“නෑ…. මම කල්පනා කළේ, ඔයා වගේ කෙනෙක් එකපාරටම පකිස්ථානයට යවන්න, කෞතුකාගාරයට තියෙන විශ්වාසය මොකද්ද කියලා.. හැරත්, ඔයා ඒ කාලෙ ඉන්න ඇත්තේ පුහුණුවන කෙනෙක් විදයට නෙ?”
“ඔය ප්‍රශ්නය හැමෝටම තිබුණා… ඒ විතරක් නොවෙයි මගේ අම්මලාටත් තිබුණ ප්‍රශ්නයක්, මොකද කියනව නම්, කවුරුවත් කැමති නැහැ ඇමරිකානු පුරවැසියෙක් පකිස්ථානෙට යවන්න. හොඳ සිහිය තියෙන කිසිම කෙනෙක් කැමතිත් නැහැ… ඒ තරම් ඒ කාලෙ පිටරැටියන්ට භයානක තත්ත්‍වයක් තිබුණේ… නමුත්, අපට හොඳට ආරක්‍ෂාව සැපයුවා… නිතරම අප වටා ආයුධ ගත් සොල්දාදුවෝ කිහිප දෙනෙක් ගැවසුණා… ලොකුම බය තිබුණේ අපව පැහැර ගනී කියන බය, ඒකටත් අපට නිතරම ආයුධ සන්නද්ධ වාහන කිහිපයක ආරක්‍ෂාවක් ලැබුණා. ඇත්තටම ඒ ගමන බොහොමයක් අත්දැකීම් ගෙන දුන්න ගමනක්.”
“සමහරු අපව සැළකුවේ ඇමරිකානු ඔත්තුකාරයන් පිරිසක් විදියට. නමුත්, අපි ඇත්තෙන්ම ගියේ පකිස්ථානයට අයත් පැරණි සිතුවමක මූලය සොයාගෙන. ඒ ගමනෙදි අපි බොහෝ දේවල් සොයා ගත්තා… ආයෙ නම් අපි පකිස්ථානයට යන්න අදහසක් නැහැ… මම හිතන්නෙ දැන් නම් අපට යන්නත් බැහැ…” කෙතරම් පාලනයකින් කතා කළත්, එක වැරදි වචනයක් නිසා කොපමණ බොරු කියන්නට තමන්ට සිදු වුණා දැයි කියා සිතමින් මොලී සිය සංවාදය වෙනතකට ගෙන ගියා.
“විශ්ව රටවල් කීයක සංචාරය කරලා තියෙනව ද?”
“ඇත්තෙන්ම හොඳ ප්‍රශ්නයක්, නමුත් මම හිතන්නෙ බොහොම අල්පයයි. මගේ තාත්තා තානාපති කාර්යාල කිහිපයක වැඩ කළා. ඒ නිසා අපට බොහෝ රටවල යන්න අවස්ථාව උදා වුණත්, මගේ ජීවිතයෙ වැඩි කලක් ගත වුණේ ලංකාවෙ සහ ඇමරිකාවෙ… ටික කලක් බෙල්ජියමේ සහ ස්විස්ටර්ලන්තයේ හිටියා… ඒ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කරන කාලයේ… අවසාන වරට මම එයාලව දැක්කේ සාම සාධක හමුදාව නිරීක්‍ෂණය කරන්න යන්නට පෙර මාව බලන්න ආපු දවසේ… එදා ඉඳලා මම වෙනත් කිසිම රටකට ගියේ නැහැ… එකම වතාවක් ලංකාවට ගිහින් ආවෙ එයාලගේ දේපල ලොකු නැන්දාගේ නමට හරවන නීතිමය කටයුතු ඉවර කරලා එන්න…”
“සමාවෙන්න මම ඔයාගෙ හිත රිද්දුව නම්… මම හිතුවෙ නැහැ ඔයා ඒ කතාව මෙතැනට ගෙන ඒවි කියලා…”
“නැහැ කමක් නැහැ… මට ඒ අයගෙ වියෝව ඒ තරම් දැන් දරාගන්න අපහසුවක් නැහැ… මොකද මම ඒ අයගෙ වියෝවත් එක්කම ආගම දහමට නැඹුරු වුණා… ඒ නිසා ඒ දුක තුනීකරගන්න හැකි වුණා..”
ඒ කතාබහ අතරතුරේ විශ්වත් සමග මොලී විශ්වගේ නවාතැන අසළට ම පැමිණියා… ඇය බලාපොරොත්තු වුණේ විශ්ව සිය නවාතැනේ රාත්‍රිය ගත කරන්න ආරාධනා කරාවි කියා… ඒ නිසාම වාහනය නැවතුම් ස්ථානයක නවතන්නට ඇය සැරසුනත්,
“මාව මෙතැනින් දාලා යන්න.. අද මට හොඳ විවේකයක් අවශ්‍යයි… තවමත් මගේ ඇඟට සියයට සියයක් සනීප නැහැ… අද මාව රෑ කෑමට එක්ක ගෙන ගියාට බොහොම ස්තූතියි… මම ඒ දේ බොහොම රස වින්දා… අපි හෙට හමුවෙමු…”
“සුභ රාත්‍රියක් මොලී…. විශ්ව රථයෙන් බසින්නට සැරසෙන අතරේ පැවසුවා….”
“සුභ රාත්‍රියක් විශ්ව…” කිසිවක් සිතාගන්නට නොහැකි වූ මොලී, මහත් අසරණ හඬකින් විශ්වගේ මුහුණ දෙසම බලාගෙන පැවසුවත්, ඒ මුහුණේ කිසිම හැඟීමක් සොයාගන්නට ඇයට නොහැකි වුණා…