SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 34

“මහ පුුදුම කොල්ලෙක්….” නැවතත් සිය රථය තම නවාතැන කරා ධාවනය කරවන අතරේ මොලී තමන්ටම කියා ගත්තේ විශ්වගේ ස්වයං පාලනය ගැන කල්පනා කරමින්…

“වෙන කොල්ලෙක් නම් මේ වගේ වෙලාවක කොයිතරම් අවස්ථාවාදී වෙනව ද? මම එයාගෙ ගෙදර රැයක් ගත කරලත්, මට කිසිම අයුතු බලපෑමක් වචනයකින් හෝ කළේ නැත්තෙ? මෙච්චර මම ලං වෙන්න හදද්දි, එයා ඒ ගැන කිසිම අනුබලයක් දෙන්නෙ නැත්තෙ? මහා ගුප්ත කොල්ලෙක්….”

ඒ ගුප්ත බව පසක් කරමින් විශ්ව ඒ අවස්ථාවේ සිටියේ මොලී සිතනවාට වඩා හාත්පසින්ම වෙනස් අරමුණක පිහිටාගෙන ය.

සිය අසනීප තත්ත්‍වය නිසා අතපසු වූ තම භාවනා ක්‍රම සහ ශරීරය පිරිසිදු කිරීමේ ක්‍රමවේදවලට සිය ගත සහ සිත යොමු කරවා ගැනීමට විශ්ව තීරණය කළේ කිහිප දිනකට පෙරයි. එහෙත් අද රාත්‍රියේ මොලී තමාව ආහාර ගැනීම සඳහා පිටතට ගෙන යෑමට තීරණ කළ නිසාත්, මේ තාක් උදව් කළ ඇයගේ සිත රිදවීම කළ නොහැකි නිසාත් ය, විශ්ව රෑ කෑමට එකඟ වුණේ. ඉන් එහාට මොලී යමක් බලාපොරොත්තු වුවත්, ඒ පිළිබඳ කිසිදු අනුබලයක් නො දීමට විශ්ව තීරණය කළේ රාත්‍රි ආහාරයට යෑමටත් පෙර දී ම ය.

සුපුරුදු පරිදි සිය සිරුර ඉතා උණුසුම් ජලයට නිරාවරණය කළ ඔහු සිය සිරුරේ වූ ශ්වේද ග්‍රන්ථි ඇතුළු සියල්ල විවෘත කිරීමට සලස්වා, සිය සිරුර පිරිසිදු කිරීමේ ද්‍රාවණය ඇඟ ගල්වා එය සිරුරට උරා ගන්නා තුරු තරමක් වේලා විවේකීව සිටියේ ය. ඉන්පසු ඉතා සීතල ජලයට නිරාවරණය වූ විශ්ව, සිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය අවසන් කර නානකාමරයෙන් පිටතට පැමිණ සුපුරුදු පරිදි ක්‍ෂණයකින් නින්දට වැටුණි. මේ සිදුවීම ඔහුට දැන් සාමාන්‍ය දෙයක් වුවත්, පෙරදිනයක සාදයක් අවසානයේ නො දැනීම ඒ තත්ත්‍වයට ලඟා වීම ඔහු අපේක්‍ෂා නො කළ දෙයකි.

කිහිප දිනක ඇවෑමෙන් විශ්ව සිය දින චර්යාව නැවතත් සියතට ගනිමින් ජීවිතය තමාට අවශ්‍ය පරිදි නතු කර ගැනීමට සමත් විය‍. මේ අතර සිය පර්යේෂණයේදී ද, වැදගත් තොරතුරු කිහිපයක්ම අනාවරණය කර ගැනීමට සමත් වුවේ ය.

“දැන් මේ ගුරුත්වාකර්ෂණය සමානුපාතික වන්නේ 1/R2 ට නේ…” මොලී විමසිල්ලෙන් ඇසුවා…

“ඔය Rවල අගය වෙනස් වෙන කොට, මේ සමානුපාත බව දැඩි ලෙස වෙනස් වෙනව නේද?”

“ඔව්… නමුත් ඒ වෙනස් වීම ඉතා අවමයි…. සියයට දශම එකකට දෙකකට වඩා වෙනසක් දැනෙන්නෙ නැහැ.. ඒ නිසා තමයි කන්දක් නැග්ගා කියලා ගුරුත්‍වයේ වෙනසක් දැනෙන්නෙ නැත්තෙ… නමුත්, ඉතා ඉහළ අහසට යන්න යන්න මේ ගුරුත්‍වය වෙනස් වෙනවා. ඒ නිසා තමයි අභ්‍යවකාශයේ දී ගුරුත්‍වය දැනෙන්නෙ නැත්තෙ… විශ්ව දැනමුත්තෙකු සේ පැවසුවා…”

“ඒක හැමෝම දන්න දෙයක්නෙ…”  මොලී උපහාසයෙන් මෙන් පැවසුවා…

“ඔව්… හැමෝම දන්න දෙයක් තමයි.. නමුත්, නොදන්න දේ නම්, මෙන්න මේ ගුරුත්‍වය ශුන්‍ය කරන්න පුළුවන් පාෂාණ වගේ දේවල් නිසා මේ තත්ත්‍වය තව දුරටත් වර්ධනය කරගන්න පුළුවනි. අර පර්යේෂණාගාරයේ තියෙන ශුන්‍ය ගුරුත්‍ව මේසය කියන්නෙත් ඒ වගේ දෙයක්.. අපි මේ දේ ගැන හිතනවා අඩුයි… අපට පුළුවන් වෙයි ද අභ්‍යවකාශයේ හෝ පෘථිවියේ ඇති ගුරුත්‍වය ශුන්‍ය හෝ අවම කරවන පාෂාණ සොයාගෙන මේ පර්යේෂණය ඉදිරියට ගෙන යන්න? ඔයා හිතනවද ලෝක ගුරුත්‍ව ක්‍ෂෙත්‍රයේ විවිධ ස්ථානවල තියෙන විවිධ ගුරුත්‍ව ලක්‍ෂණ අභ්‍යන්තරයේ චලනයන් නිසා පමණක් සිදු වනවා කියලා? කවුරුවත් මේ පිළිබඳ විමර්ෂණයක් කරලා තිබෙනවද? මම හිතන්නෙ නම් මේක අපට පටන් ගන්න හොඳ තැනක්. මුලින්ම පෘථිවි ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය පරීක්‍ෂා කරලා බලන්න ඕන අවම සහ උපරිම ගුරුත්‍වයන් ඇති ස්ථාන හඳුනා ගැනීමට. ඉන්පසුව අපි ඒ ඒ ස්ථානවල ඇති විවිධ පාෂාණ අධ්‍යයනය කරලා බලන්න ඕන මේ සුවිශේෂී පාෂාණවල ඇති ප්‍රතිගුරුත්‍ව ගුණ මොනව ද කියලා.”

“ඊට වඩා හොඳ නැද්ද අපි GRACE  සැටලයිට් දත්ත සටහන් අධ්‍යයනය කරන එක? අනිවාර්යයෙන්ම එතැනින් අපට පුළුවන් වේවි ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න…” මොලී එකවරම පැවසුවේ යමක් මතක් වූ නිසා…

GRACE :

Gravity Recovery and Climate Experiment යනු නාසා ආයතනය සහ ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව සිදු කළ ව්‍යාපෘතියකි. එමගින් 2002 දී දියත් කළ චන්‍ද්‍රිකා යුග්මය (GRACE-1 සහ GRACE-2) උපයෝගී කර ගනිමින් 2002 සිට 2017 දක්වා පෘථිවි ගුරුත්‍ව ක්‍ෂෙත්‍රවල අසාමාන්‍යතා මොනවා දැයි ගණනය කැරිණි. මේ ගුරුත්‍ව අසාමාන්‍යතා ගණනය කිරීමෙන් පෘථිවියේ විවිධ ස්ථානවල දක්නට ලැබෙන ස්කන්ධ වෙනස්කම් කාලය සමඟ වෙනස් වන්නේ කෙසේ දැයි සොයා බැලීමක් ද සිදු කැරිණි. සෑම දින 30කට වරක්ම මුළු පෘථිවියම ආවරණය කරන මේ මේ චන්‍ද්‍රිකා දත්ත නිසා පෘථිවියේ විවිධ ස්ථානවල සහ සමුද්‍රයේ මෙන්ම කාලගුණයේ ද වෙනස්කම් පිළිබඳ එතෙක් නො දැන සිටි බොහෝ කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය. මුලින් බලාපොරොත්තු වූ අවුරුදු පහක ආයුකාලය අභිබවා අවුරුදු 15ක සේවයක් කළ මේ චන්‍ද්‍රිකා යුග්මයෙන් දෙවැන්න 2017 ඔක්තෝබර් 27 වනදින සේවයෙන් ඉවත් කර ඒ වෙනුවට GRACE-FO නම් නවතම චන්‍ද්‍රිකාව 2018 මැයි මස 22 වන දින කක්‍ෂගත විය.

“ඔව් අප GRACE දත්ත මුලින්ම බාගන්න ඕන. මේක එසේ මෙසේ දත්ත ප්‍රමාණයක් නෙවෙයි. ඒ වගේමයි මේක ගණනය කරන්නට අපට සාමාන්‍ය පරිගණක මෘදුකාංගයකින් අමාරුයි..”

“එතකොට අපි කොහොමද දත්ත විශ්ලේෂණය කරන්නෙ?”

“මම නම් හිතන්නේ අපට මේක සාමාන්‍ය දත්ත විශ්ලේෂණ මෘදුකාංගයකින් කරගන්න අමාරු වේවි. මේකට අපට කෘත්‍රිම බුද්ධිය සහිත මෘදුකාංගයක් ලියන්න වේවි. මොකද කියනවා නම් මේ දත්ත කිසිම රටාවකින් තොරව වෙනස් වෙනවා. මේ නිසා ඒ වෙනස්වීම් හරියටම හඳුනාගත යුතුයි. ඒකට සාමාන්‍ය ඡායාරූප විශ්ලේෂණය කරන මෘදුකාංගයක් සමත් වන්නෙ නැහැ. මේ නිසා අපට මේ මෘදුකාංගයට තනියෙම ඉගෙනගන්නට පුරුදු කරන්න වෙනවා. ඉන් පසුව එය තමන් විසින්ම ඒ ඒ අදාළ ස්ථාන හඳුනාගෙන දත්ත විශ්ලේෂණය කරන්න පුරුදු වේවි.”

නමුත්, ඒකට තරමක් කල් යනවා නේ ද? විශ්ව ඇසුවේ මේ කර්තව්‍යය දැනටමත් ප්‍රමාද වෙලා තිබෙන නිසා ය.

“නැහැ… අපට පුළුවන් දැනටම භාවිත වෙන මෘදුකාංගයක් අරගෙන අපේ අවශ්‍යතාවය උගන්වන්න.” මොලී හොඳින්ම දැනගෙන සිටිනා බවක් පෙන්නුම් කරමින් පැවසුවා ය.

“කොහෙන්ද අපි කෘත්‍රිම බුද්ධිය ඇති මෘදුකාංගයක් ලබා ගන්නෙ? විශ්ව තරමක නොදන්න තාලයකින් ප්‍රශ්න කළේ ය.

“අපට පුළුවනි ඩෙනිස් මාර්ගයෙන් ලබා ගන්න.. එයාට තියෙනවා ඕනතරම් සම්බන්ධකම්. මමත් හොයලා බලන්නම්. මම දන්න හැටියට ආරක්‍ෂක අංශ පවා දැන් දැන් මිනිසුන්ගේ මුහුණු හඳුනාගැනීමට මේ වගේ කෘත්‍රිම බුද්ධිය තියෙන ඡායාරූප විශ්ලේෂණය කරන මෘදුකාංග භාවිත කරනවා.

“ඔයා කොහොමද ඒව දන්න‍ෙ?” විශ්ව ඇසුවෙ විමතියෙන්…

“ඇයි ළමයො… මම MIT එකේ ව්‍යාපෘතිය කරනකොට ජාතික ආරක්‍ෂක ඒජන්සියෙ සම්බන්ධකම් තිබුණා. මම දන්නවා දැන් වුණත් ඒ අය ඇමරිකාවෙ තියෙන සෑම ගුවන්තොටුපළකම තියෙන ආරක්‍ෂක කැමරා සියල්ලම හැක් කරලයි තියෙන්නෙ… ඒකෙන් කරන්නේ ත්‍රස්තවාදීන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආදී කට්ටියගේ මුහුණු විශ්ලේෂණය කරන එක… ඒ වගේමයි සාමාන්‍ය කෙනෙක් වුණත්, ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම් රටාවෙන් පිට පැනලා සැකකටයුතු ආකාරයෙන් හැසිරෙනවා නම් එය අල්ලගන්න මේ මෘදුකාංගවලට පුළුවනි. ඒ විතරක් නොවෙයි, අපි නොදන්නවා වුණාට දවසකට සෑහෙන ප්‍රමාණයක අපරාධකරුවො නීතියේ රැහැනට හසු කරගන්නෙ මේ නිසා… මේවා සිදු වෙන්නේ අපි හැමෝටම හොර රහසේ…”

“ඒ කොහොම ද?”

“ඒක වෙන්නෙ මෙහෙමයි. ඔයාගෙ පාස්පෝට් එක ඇතුළු වීමේ දොරටුවෙදි ස්කෑන් කළ වහාම ඒක මධ්‍යම දත්ත සංචිතයකට ඇතුළත් වෙනවා. ඊට පස්සේ කෘත්‍රිම බුද්ධිය සහිත මෘදුකාංගයකින් ඔයාගේ විස්තර විවිධ ආකාරයට විශ්ලේෂණය කරලා ඔයාට වෙනම Profile එකක් හදනවා. මෙන්න මේ මෘදුකාංගය ඔයාව යන යන තැන පසුපස යනවා. ඔයා හිතනව ද ආරක්‍ෂක කුටියේ වාඩි වෙලා ඉන්න ආරක්‍ෂක නිලධාරීන් කිහිප දෙනාට ගුවන් තොටුපලේ ඉන්න හැමෝගෙම මූණු දිහා බල බල ඉන්න පුළුවන් කියලා? මොලී ඇසුවෙ විධානය මුසු ස්වරයකින්.”

“ඉතිං…”

“ඉතිං….. මෙන්න මෙහෙම ඒ මෘදුකාංගයට එකතු වෙන ඔයාගෙ මුහුනෙ විවිධ ඉරියව් මේ මෘදුකාංගය විසින් අල්ලා ගන්නවා. ඊට පස්සේ ඒ වෙනස්කම් සියල්ලම ස්වයංව විශ්ලේෂණය කරලා බලලා සැකකටයුතු අයට රතු කොඩියක් සටහන් කරනවා. මෙන්න මේ රතු කොඩි සහිත පිරිස වැඩිදුර පරීක්‍ෂා කරලා බලලා නිසි පියවර ගන්නවා… මේක පාවිච්චියට ගැනෙන්න ප්‍රධාන හේතුව වුනේ 9/11 සිදුවීමෙන් පස්සෙ… ඒක ආරක්‍ෂක අංශවල කීර්තිනාමයට මහා කැළලක් වුණා. මොකද කියනවා නම් ඒ නිසා සිදු වුණ ජීවිත හානිය සහ අවමානය නිසා. ඒ නිසා තමයි ජාතික ආරක්‍ෂක ඒජන්සිය මේ ප්‍රසිද්ධ ස්ථානවල තියෙන ආරක්‍ෂක කැමරා සියල්ලම හැක් කරන්න ගත්තෙ… එදා ඉඳලා සෑහෙන ත්‍රස්තවාදීන් සහ අපරාධකරුවො ප්‍රමාණයක් අපි නොදැනම අත් අඩංගුවට ගන්නවා බොහොම හොර රහසේ… සමහර වෙලාවට අපි වැරැද්දක් නො කළත් පොලිස් නිලධාරීන් වාහන නවත්වනවා දැකලා තියෙනවා නේද? අන්න ඒ, මේ වගේ කට්ටියව අල්ලන එක ක්‍රමයක්.”

“අම්මෝ මෙයා දන්න දේවල්…”

“මමත් දන්නෙ ඉතිං මම  MIT එකේ වැඩ කළ කාලෙ ඉගෙන ගත්ත දේවල් නිසා තමයි.”

“එතකොට මෙතනට කෘත්‍රිම බුද්ධිය දාන්නෙ කොහොම ද?”

“ඇයි ළමයො…. මුලින් අපි පසුගිය මාස ගණනාවක චන්‍ද්‍රිකා ඡායාරූපවල සම්ප්‍රයුක්තය අරගෙන ඒ දත්ත මේ මෘදුකාංගයට ලබා දෙනවා. ඒ ලබා ගන්නා දත්තවලින් පුළුවන් ඒකට උගන්වන්න අඩු සහ වැඩි ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර ඇති තැන් හරියට හදාගෙන ඊට පස්සේ ස්වයංක්‍රීයව ඒ දත්ත පසුපස හඹා යන්න උදව් කරන්න…”

“හරි, දැන් ඔය සිද්ධාන්තය හරි ගියා කියමුකො… කෝ?… කොහෙන්ද මේ දත්ත ලබා ගන්නෙ?”

“මෙහෙමෙයි…. සාමාන්‍ය මට්ටමේ දත්ත නම් ඕන කෙනෙකුට කතා කරලා හෝ අන්තර්ජාලයෙන් ගණනය කරල දෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මේකට ඊට වඩා දත්ත ප්‍රමාණයක් අවශ්‍යයි. මේ නිසා දැන් අපි මීට වඩා ගැඹුරු දත්ත තියෙන තැනකින් ලබා ගන්න ඕන”

“මොලී….. අපි කොහොන්ද මේ වගේ සංවේදී දත්ත ලබා ගන්නෙ?”

“හ්ම්… හොඳ ප්‍රශ්නයක්… අපි මුලින්ම ඩෙනිස්ට කතා කරලා බලමු… ඊට පස්සෙ පොටක් පාදගන්න බැරි වෙන එකක් නෑ,…”

 

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *