SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 35

“මම හිතන්නෙ නම් මේකට ටිකක් ඉහළ තැනකින් උදව් ගන්න වෙයි…”

මොලීගෙ ඉල්ලීමට සවන් දුන් මහාචාර්ය ඩෙනිස් ලිපර්ඩ් නලල රැලි කර ගනිමින් පැවසුවා…

“ඇයි ඩෙනිස් එහෙම කියන්නෙ? අපට බැරිද තියෙන මූලාශ්‍රවලින් දත්ත ගන්න?”

“පුළුවන් වුණා… ඒත් දැන් බෑ… මෑතකදි ඉඳලා සියලු ම සැටලයිට් දත්ත ජාතික ආරක්‍ෂක ඒජන්සියෙන් පාලනය කරනවා. ත්‍රස්තවාදී තර්ජන වැඩිවීම සහ අන්තර්ජාතික තර්ජනත්, දේශපාලන අස්ථාවරත්‍වයත් නිසා සියලු ම දත්ත එක සර්වර් එකක් හරහා තමයි පාලනය වෙන්න‍ෙ.”

“හරි, එහෙම වුණා කියලා අපට දත්ත ගන්න බැරි වෙන්නෙ නැහැනෙ… මොකද අපි රජයේ ආයතනයක් නෙ…”

“ඔව්… නමුත්, ඒකට දැන් ලොකු පටිපාටියක් තියෙනවා. ඔයාග‍ෙ සියලුම විස්තර, පසුගිය අවුරුදු දහයක විතර සියලුම දත්ත ආදී මේ සියල්ලම ඒ අයට ලබා දෙන්න ඕන. කිසියම් හෝ වැරැද්දක් තිබුණොත් දත්ත විතරක් නොවෙයි, අපට හිරේ ලගින්නත් වෙයි.”

“ඒ මොකද එච්චර? ඉස්සර අපට එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නැහැනෙ…”

“ඉස්සර ඔයා මොකද සැටලයිට් දත්ත එක්ක කළේ?” එවර ඩෙනිස් ප්‍රශ්න කළේ තමන් නොදැන සිටි දෙයක් මොලීගෙන් පිට වූ නිසා…

“ආ… මම MIT එකේ වැඩ කරන කාලයේ මේ වගේ දත්ත සෑහෙන ප්‍රමාණයක් එක්ක වැඩ කරලා තියෙනවා.”

“ඒ වුණාට දැන් එහෙම කරන්න බැහැ නෙ….. අපි වෙන ක්‍රමයක් හොයා ගන්න ඕන…”

“අපි බලමු ද ජනරාල් වෙලිංටන්ට කතා කරලා? මම හිතන්නෙ බැරි වෙන එකක් නෑ,.. අපි අපේ දත්ත යොදා ගන්නෙ විද්‍යාත්මක පර්යේෂණයකට නෙ… වෙන දේකට නෙවෙයි නෙ…”

“ඇත්ත මොලී… නමුත් මෙතන කිසියම් ක්‍රමවේදයක් තියෙනවනෙ… ඔයා ඒක නොදන්නවා නෙවෙයිනෙ… අපි ගිහින් ජෙනරාල්ගෙන් අහමු… එයා අද නම් කාර්යාලයෙ නැහැ… මම කතා කරලා බලන්නම්….. කෝකටත් ජාතික ආරක්‍ෂක ඒජන්සියට කතා කරලා අවශ්‍ය ලිපි ලේඛන ටික ගන්න… අපි ජෙනරාල්ට කතා කරලා වැඩ ටික කර ගන්නකොට ඒ ලිපි ලේඛණ සම්පූර්ණ වෙලා තියෙන්න ඕන.”

“ඒක මට කරගන්න පුළුවන් වේවි… මම මීට පෙරත් ජාතික ආරක්‍ෂක ඒජන්සියට කතා කරලා තියෙනවා. ඔබට පුළුවන් නම් ඉක්මනටම කතා කරලා අවසර අරගෙන දෙන්න, මට පුළුවනි අද හෙටම ලිපි ලේඛන ටික ලබාගෙන විස්තර පුරවලා යවන්න…”

“හරි… එහෙනම් එහෙම කරමු…”

දුරකථන තිරයේ වූ පණිවුඩය දකිත්ම ජනරාල් වෙලිංටන් ඒ කවු දැයි හඳුනා ගත්තා… කෙසේ වුවත්, දැන් තමා සිටින සාකච්ඡාව අනුව, එයට පිළිතුරු යැවීම එතරම් සුබ කටයුත්තක් නොවන බව ඔහුට අමුතුවෙන් මතක් කළ යුතුව තිබුණේ නැහැ…

“සෙනෙටර් වොට්සන්, ඔබ දන්නවා, මේ අලුත් මෘදුකාංගය අපට කොයි තරම් සේවය කරලා තියෙනවද කියලා.. මේ නිසා අපට කොයි තරම් ත්‍රස්ත ප්‍රහාර මැඩ පවත්වන්නට හැකි වෙලා තියෙනවද කියලා… එහෙම වුණත්, ඇයි ඔබ මේ කටයුත්තට අකමැති?”

“ජෙනරාල් තුමනි, ඔබ නොදන්නවා වුණාට මෙතන තියෙන්නේ මානව හිමිකම් ප්‍රශ්නයක්… අනුන්ගේ සාකච්ඡාවලට ඇහුම්කන් දීම, අනුන්ගේ ඊමේල් කියවීම වගේ මානව හිමිකම් කඩකිරීම සංකීර්ණ දේවල්. මේ නිසා අපට ලැබෙන වාසිවලට වඩා අවාසි ප්‍රමාණය වැඩියි. මේක නිසා මානව හිමිකම් දර්ශකයේ පවා අපි පහළට වැටෙනවා.”

“ඔබ කියන මානව හිමිකම් කඩවෙන්නේ මේ මෘදුකාංගය අපි පාවිච්චි කරනවා කියලා මිනිස්සු දැනගත්තොත් විතරයි. දැන් ඔබ දන්නවා අපි දවසකට කීයක් අත් අඩංගුවට ගන්නව ද? කීයක් රාජ්‍ය විරෝධී ක්‍රියා වළක්වනව ද කියලා… ඇයි මේක මේ විදියටම දිගටම ගෙනියන්න බැරි?”

“ජනරාල් වෙලිංටන්… ඔබ රට වෙනුවෙන් මේ දේ කරන බව මම හොඳාකාරවම දන්නවා. නමුත් දැන් දැන් ස්වේච්ඡා සංවිධානවලට මේ සිද්ධිය ඉව වැටිලා ඉවරයි. මේ තියෙන්නේ ඔවුන් ඒ සම්බන්ධයෙන් අපට එවාපු ලියුම් කන්දරාව. දැනටමත් ඔවුන් සාකච්ඡාවක් ඉලල්ලා තියෙන්නෙ… මේක මේ විදියට ගියොත් අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි මේ කටයුත්ත වහාම නවත්වන්න ඕන.”

“ඔබ කියන්නේ මේ බිලියන ගණනාවක් වියදම් කරලා හදපු පද්ධතිය මේ එක එක සංවිධානවලට අවශ්‍ය විදියට නවත්වන්න කියලද?”

“ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් ආවොත් නවත්වන්නෙ ඒ සංවිධාන ද? අනේ මේ… සෙනෙටර් තුමා… කරුණාකරලා මට මගේ රස්සාව කරගෙන යන්න දෙන්න. ජෙනරාල් වෙලිංටන් තමන්ගේ සීමාවේ අවසානයට ගිහින් බොහොම කරුණාවෙන් සෙනෙටර් වොට්සන්ට කරුණු පැහැදිලි කරලා දුන්නා.”

“සමාවෙන්න. මට තව දුරකථන ඇමතුමක් තියෙනවා.. මම හිතන්නේ මේ සාකච්ඡාව මෙතනින් ඉවරයි. මේ සම්බන්ධයෙන් වෙන කතා බහක් අනවශ්‍යයි කියලා මට හිතෙනවා. සෙනෙටර්තුමාට අවශ්‍ය නම් මේක සෙනට් මණ්ඩලය හරහා අපි සාකච්ඡා කරමු…”

සෙනෙටර් වොට්සන්ට තේරුණා තමන් හැප්පෙන්න යන්නේ වැරැදි අංශයේ වැරැදි පුද්ගලයා එක්ක බව. ජාතික ආරක්‍ෂාව කියන විෂයය සමඟ ගණුදෙනු කිරීමේ දී ජනරාල් වෙලිංටන් කිසිම ලිහිල්භාවයක් දක්වන්නෙ නැති පුද්ගලයෙක්. රටේ ආරක්‍ෂාව ඉහළම තලයක තබා ගණුදෙනු කරන පුද්ගලයෙක් සමග මෙවැනි සාකච්ඡාවක් පවත්වපු එක ගැන ඔහු දෙවරක් සිතන්නට වුණා… කෙසේ වෙතත් ජනරාල්ම සිය සාකච්ඡාව අවසන් කිරීම ඔහුට තරමක අස්වැසිල්ලක් වුණා…

සිය වාහනයට යන අතරමග, සිය ඥාති දියණියගෙන් ලැබුණ දුරකථන ඇමතුමට සිය දුරකථනයේ ආරක්‍ෂිත සහ රහස්‍ය සම්බන්ධතාවය හරහා නැවත ඇමතුමක් ලබා ගත්තා…

“ජෙනී… මම චාලි… කියන්න…”

“ජෙනී සිය අවශ්‍යතාවය සරළව කෙටියෙන් පැහැදිළි කළා…”

“මම හෙටම අවශ්‍ය ලිපි ලේඛන ටික එවන්නම්… මම හිතන්නේ විශ්ව හොඳ තැනකට ඇවිල්ලා තියෙන්නේ. මේ දත්ත අපි ලබා දුන්නොත් එයාට මේ කටයුත්ත පහසු වේවිි… සමහරවිට අපට නව සොයාගැනීමකට යන්න පුළුවන් වේවි…. ඉක්මනින්ම මේ දේ එයාට ලබා දෙමු.. අපි දැන් කාලය ගොඩක් අපතේ යැව්වා…”

“අපි විශ්ව වෙනුවෙන් ගොඩක් කාලය අපතේ යැව්වා… අපි ඉක්මනටම මේ පර්යේෂණයේ කෙළවරක් දකින්න ඕන… නාසා එක විතරක් නෙවෙයි අභ්‍යවකාශ පර්යේෂණ කරන්නෙ… දැන් ඔයා දන්නවනෙ තියෙන තරගය… මේ නිසා අපි ඉක්මනටම යමක් ලබා දෙන්න ඕන… අපි මේ පර්යේෂණවලට වියදම් කරන මුදල ගැනත් විවිධ ප්‍රශ්න තියෙනවා… ඒ විතරක් නොවෙයි වෙනත් දේ ගැනත් ප්‍රශ්න අනන්තයි…. මේ සියල්ලටම ඉක්මනින් යමක් ලබා දෙන්න ඕන… මම හිතන්නේ ඔයාලගේ පර්යේෂණයේ අපි හොයන උත්තරේ තියෙනවා… ඉන්න මම ඉක්මනටම ඔය දත්ත ලබා දෙන්නම්.”

“ඩෙනිස් කතා කරාවි… මම එයාට කිවුවා ඔබට කතා කරලා මේක ඉක්මන් කරලා දෙන්න කියලා…”

“හොඳයි.. මේ කතාව සිදු වුණේ නෑ කියලා හිතා ගන්න…”

“කොහෙද ගිහින් හිටියේ? මම බැලුවා ඔයා කොහෙද කියලා…” නැවත පර්යේෂණාගාරයට පැමිණි මොලීගෙන් විශ්ව විමසුවා…

“ආ… මම පොඩ්ඩක් එළියට ගියා… පෞද්ගලික කටයුත්තකට…”

“මම මේ හිත හිතා හිටියේ… මේ ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර වෙනස්වීම නිසා අපට  සහතිකවම එක තැනක ගුරුත්‍වය අඩුයි කියලා කියන්න පුළුවන්ද? ඒ භාවිත කරලා අපට යමක් කළ හැකි ද කියලා… නමුත්, 2001 නාසා පර්යේෂණයකට අනුව වාතයේ අයණීකරණය එක්ක එහි ඝනත්‍වය වෙනස් වන ආකාරයක පර්යේෂණ පත්‍රිකාවක් තියෙනවා. මෙන්න මේක තව දුරටත් හාරා අවුස්සලා බැලුවොත් අපට එදා අපි අර පර්යේෂණ දත්ත සමාලෝචන රැස්වීමේදී කළ උපකල්පන සනාථ කරන්න පුළුවන් වෙිවි.. ඕක අපි ගණනය කළා විතරයි නෙ… ඇයි අපට බැරි මේකට සරළ ආකෘතියක් හදන්න? ඒක හරහා අපට බැරිද වායු අංශු අයනීකරණය කරන්න?” විශ්ව ඇසුවේ තමන්ට මේ පර්යේෂණයේ දත්ත සමග ගැටී තරමක ඒකාකාරී බවක් දැනෙමින් තිබුණු නිසාවෙන්…

“අදහස නම් හොඳයි… නමුත් කොහොමද අපි ආකෘතිය හදන්නෙ? කාත් එක්කද සම්බන්ධ වෙන්නෙ?”

“මම හිතන්නෙ අපට පුළුවනි අපේ කාර්මික අංශයට සම්බන්ධ වෙලා මේ වැඩේ කරවගන්න…. කෝකටත් අපි යමු ද? ජිම් සහ ජෝන් දෙන්නා තමයි මේකට හොඳම… ඒ අය මෙකාට්‍රානික්ස් අංශයටත් සම්බන්ධ නිසා වැඩේ පහසු වේවි.”

“යමු….. ඉන්න මම නෝට් පොත අරගෙන එන්නම්… මම ඇඳපු කටු සටහනක් ඒකේ තියෙනවා…” විශ්ව සිය මේසය වෙත ගියේ පොත රැගෙන එන්න…

මේ අතර මොලී සිය දුරනථනයේ දත්ත නාමාවලියේ අංක කිහිපයක් මකා දැමුවේ තමන් ලබාගත් දුරකථන ඇමතුම්වල රහස්‍යභාවය තවදුරටත් සුරැකිව තබා ගැනීම අවශ්‍ය නිසා.

දෙදෙනා සෙමින් කාර්මික අංශය වෙත පියමැන්නා…. පර්යේෂණාගාරයේ සිට වැඩි දුරක් නොමැති වුවත්, කතාබහකට ඒ දුර හොඳටම ප්‍රමාණවත්…

මොලී යමක් කියන්නට සූදානම් වුවත්, විශ්වට ලැබුණ දුරකථන ඇමතුමකින් සිය කතාව නතර කරගන්නට මොලීට සිදු වුණා…

විශ්වගේ දුරකථන තිරයේ ගීතිකාගේ නම සහ ඡායාරූපය සටහන් වී ඇති ආකාරය ඇගේ සූක්‍ෂම ඇසට හසු වූවා…

“හලෝ ගීතිකා…. කොහොමද?” විශ්ව කිසි වෙනසක් නොපෙන්වා කතා කළා…

“කොහොමද විශ්ව? දැන් කකුල සනීප ද?”

“ඔව්… සනීපයි… නමුත්, තවමත් ව්‍යායාම කළ යුතුයි…”

“මම හිතන්නේ ඔයාට යමක් අමතක වුණ හැඩයි…” ගීතිකා නැවතත් කතා කළා…

“ඔව්…. අමතක වුණාම නොවෙයි… වැඩ ටිකක් වැඩි නිසා පස්සට ගියා…”

“එහෙම බෑනේ…… අවශ්‍ය පරීක්‍ෂණ නිම වෙනකල් ඔයා ක්ලිනික් එන්න ඕන… කවද ද ඔයාට එන්න පුළුවන්…”

“සමහරවිට හෙට එන්න පුළුවන් වේවි.”

“හොඳයි… ඔයාගෙ කාලසටහන අනුව වෙලාව කියන්න…. මම ලෑස්ති වෙලා ඉන්නම්… පැය තුන හතරක් මෙහේ ඉන්න බලාගෙන එන්න…”

“හොඳයි.. හෙට හමුවෙමු….. බායි…”

“හෙට හමුවෙන්නෙ කොහොම ද? අපට අන්තර් කණ්ඩායම් රැස්වීම තියෙනවා කියලා අමතක වුණා ද?” මොලී තරමක් නෝක්කාඩුවෙන් පැවසුවා…

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

FREE Shipping on orders over Rs.1500/= Dismiss