
පිටස්තරයා 36
“දැන් මේකයි ජිම්… අපට වෙන්න ඕන ඉතා වේගයෙන් අවම වශෙයන් ඝන මීටර පහක පරිමාවක වාතය අයණීකරණය වන විදියට උපකරණයක් හදා ගන්න එකයි. මෙතනදි අපට මිලි තත්පර ගණනක් ඇතුළත මේ අයණීකරණය වීම සිදු වෙන්න ඕන. නැතිනම් අවශ්‍ය දේ සිදු වන්නෙ නෑ… මම හරියටම ගණනය කරලා අවශ්‍ය කාලය සහ පරාමිති ඔක්කෝම එවන්නම්, මට මුලින්ම දැනගන්න ඕන මේ දේ කරන්න පුළුවන් ද කියලයි.” මොලී ජිම් සහ ජෝන් හමු වී සිය අවශ්‍යතාවය පැහැදිළි කළා.
ඒ සියල්ල සාවධානව අසා සිටි ඔවුන්,
“ඔයා කියන කතාව හරි…. නමුත්, මේක මේ කියන පරක්කුවට කරන්න නම් අමාරුයි. මොකද කියනවා නම්, ඔය කියන ගණනය කිරීම් සියල්ල අපටත් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම, අපට දැනගන්න අවශ්‍යයි මේ උපකරණයට වැයවන මුදල, ඒ වෙනුවෙන් ගත කෙරෙන බලශක්තිය, මොකට ද මේක යොදා ගන්නේ වගේ කාරණා…”
“ඒ නිසා අපට ඔයාලා දෙන්නා පොඩි ව්‍යාපෘති වාර්තාවක් සකස් කරලා දෙන්න. ඒ අනුව අපි බලමු… නැතිනම් අපට ටිකක් අමාරු වේවි.”
“හොඳයි… අපි දවස් දෙක තුනක් ඇතුළත මේ වාර්තාව හදලා දෙන්නම්…. අපට මුලින්ම මේ වැඩේ කරන්න පුළුවන් ද කියලා කියන්න… මුලින් අපට කුඩා ආකෘතියක් හැදුවාම ඇති… මහා පරිමාණව කරන්න සෑහෙන ලොකු පිරිවැයක් යනවා…. ඒක අපට පස්සේ බලාගන්න වෙනවා…”
෴
ඒ සමඟම විශ්වගේ දුරකථනය නාද වුණා….. ආයෙමත් ගීතිකා…. මොලීගේ මුහුණ එතරම් ප්‍රසන්න වුණේ නැහැ…
“විශ්ව, මම ඔයාට හෙට උදේම 8.00ට ඇපොයින්ට්මන්ට් එක සූදානම් කළා. හරියටම උදේ අටට එන්න… වැඩි වෙලා ගන්නෙ නැතිව ඉක්මනටම අපට වැඩ ටික ඉවර කරන්න පුළුවන් වේවි.”
“හරි… මම උදේ අටට එන්නම්…”
“මොලී… අපි අපේ මීටින් එක හවසට දාගනිමු… මට මේ වැඩේට යන්නම ඕන… අතපසු කරලා බෑ….” දුරකථනය විසන්ධි කරමින් විශ්ව පැවසුවා.
“ඒ වගේමයි, අපි හෙට වෙනකොට මේ වාර්තාව හදලා ජිම්ටයි ජෝන්ටයි දෙන්න ඕන… ඒක දැන් ගිහින් කරමු… සමහරවිට අපට රෑ වෙනකල් වැඩ කරන්න වෙයි… ඔයාට වෙනත් වැඩක් යෙදිලා නෑනෙ අද?”
“නෑ… අපට අද පුළුවන් වේවි…” මොලී පැවසුවේ එතරම් සතුටකින් නොවෙයි.
“මොකද නිකං.. ඕනවට එපාවට? ප්‍රශ්නයක් ද?” විශ්ව මොලීගෙන් ඇසුවේ ආපසු එන අතරතුරේ දී…
“නෑ… විශේෂ යමක් නෑ…. ඔයාට මීටින් එක අමතක වුණ එක ගැනයි මම හිතුවේ…”
“විශ්ව සිනාසුණා… ආ… මේ… ගෑණු ගෑණු ප්‍රශ්නයක්……. ඔයා දන්නවනෙ…. මට දැනටමත් අතපසු වුණ මේ චෙකප් එක ඉක්මනින්ම කර ගන්න ඕන…. මම ඒකට හෙට ගිහින් කරගෙන ආවම ආයෙම මාස තුනකට මම නිදහස්…”
“මට කිසි ප්‍රශ්නයක් නෑ… ඒ වුණාට මේ වැඩත් හරියට කෙරෙන්න ඕන නෙ…”
“හරි හරි…. ඔය වැඩෙත් කෙරෙයි… මගේ වැඩෙත් කෙරෙයි…”
ඒ සංවාදයත් එක්කම දෙදෙනා ම ප්‍රධාන පර්යේෂණාගාරය වෙත පැමිණියා
“හරි… දැන් පටන් ගනිමු… මුලින්ම අපි මේ කුඩා ආකෘතිය හදන එක කරමු.. මේක හරි ගියොත් තමයි අපට ලොකු එකට යන්න පුළුවන්…”
“මේක අපේ හිතලුවට කඩාගෙන බිඳගෙන සැලසුම් කළාට, අපි මේක කරන්න පුළුවන් ද කියලා ශක්‍යතා අධ්‍යයනයක් කළේ නෑ නේද?” විශ්ව එකපාරට මාර්ග බාධකයක් දැම්මා…
“හරි හරි… අපට මේ ගැන පැරණි අධ්‍යයන තියෙනව නෙ…” මොලී ආත්ම විශ්වාසයෙන් පැවසුවත්, ඇගේ ප්‍රකාශය සියයට සියයක්ම ස්ථිර බවක් හැඟුනෙ නැහැ…
“ඇත්තටම ද? මොකද අපි මේක කළා වගේ නොවෙයි… හරියටම හරි නො ගියොත් උත්තර බඳින්න වෙන්නෙත් අපි දෙන්නට ම තමයි…” විශ්ව බැරෑරුම්ව පැවසුවා…
“ඉතිං මේ හදිස්සියට ඔය අධ්‍යයනය හරියටම කරන්නෙ කොහොම ද?”
“ඇයි බැරි? අපි ඉක්මනටම මේ උත්සාහය කරලා තියෙන අවස්ථා මොනව ද කියලා පරීක්‍ෂා කරලා බලමු… ඒ අනුව අපට සාමාන්‍ය නිගමනයකට එන්න පුළුවන් නෙ අපි කරන්න යන දේ හරි ද කියලා…”
විශ්ව පරිගණකය දෙසට හැරෙන අතරේ පැවසුවා…
“අපි මෙහෙම බලමු…”
“මහා පරිමාණව වාතය අයනීකරණය කළ හැකි ක්‍රම මොනව ද කියලා…”
විශ්ව සහ මොලී දෙදෙනා අන්තර් ජාලය මෙන්ම පර්යේෂණ දත්ත සෙවීම සඳහා සුවිශේෂී වූ සෙවුම් ක්‍රම යොදමින් සිය පර්යේෂණයට අදළ දත්ත එක් රැස් කිරීම ඇරඹුවා… දෙදෙනාට ම නොදැනී පැය ගණනාවක් සිය පරිගණක තුළට කිමිදී දත්ත එකතු කළ ඔවුන්ට වෙලාව ගතවනු කිසිසේත්ම දැනී තිබුණේ නැහැ….
එකවරම පර්යේෂණාගාරයේ දුරකථනය නාදවනු ඇසී මොලී සිය ඔරලෝසුවේ වෙලාව බැලුවා…
“දෙයියනේ… රෑ නවයත් පහු වෙලා…”
“හලෝ…”
“හලෝ…. මේ කතා කරන්නේ ඉදිරිපස ගේට්ටුවෙන්…. තවමත් ඔබේ වාහන දෙක රථගාලේ තිබෙන නිසයි කතා කළේ…”
“ඔව්… අපි දෙන්නෙක් තවමත් පර්යේෂණාගාරයේ වැඩ.. තව පොඩ්ඩකින් අපි යනවා…”
“හොඳයි…… බොහොම ස්තූතියි…”
“සුබ රාත්‍රියක්…”
“සුබ රාත්‍රියක්…”
“විශ්ව…. රෑ නවයත් පහු වෙලා… අපි දැන් යමු නේද? මම හිතන්නේ… අපි හොයපු දත්ත ටික ලැබුණා… අපි අදයි හෙටයි මේ දත්ත විශ්ලේෂණය කරලා බලමු… අපට පොටක් පාදගන්න බැරි වෙන එකක් නැහැ…”
විශ්වත්, කිසිවක් නොකියාම සිය පරිගණකය වසා දමා සිය බෑගය තුළට දමා ගත්තා…
“හෙට මම එනකොට පරක්කු වෙයි… ඔයා මේ කාර්යය දිගටම කරගෙන යන්න… හවස ආවම අපි කතා කරමු…”
දෙදෙනාම කතා කරමින් සිය රථ නවතා ඇති රථ ගාල වෙත පිය මැන්නා…
කිසිවක් නොකියාම විශ්ව සිය රථය ට නැඟ…
“සුභ රාත්‍රියක් මොලී…”
එදා රෑ මොලී පිටත්ව ගියේ ඒ තරම් සතුටකින් නොවෙයි…
෴
“සුභ උදෑසනක්……..”
වෝල්ටර් රීඩ් රෝහලට ගිය විශ්ව පිළිගන්න රෝහලේ ආලින්දයටම පැමිණ සිටි ගීතිකා සිනාමුසු මුහුණින් ආමන්ත්‍රණය කළා…
“සුභ උදෑසනක්…. මෙතනටම ඇවිත්…..? විශ්ව ප්‍රශ්න කළේ විමතියෙන් මෙන්….”
“අද මට ඔයා විතරයි ඉන්නෙ රෝගියෙකුට….. ඒ නිසා මට ටිකක් නිදහස්……” ගීතිකා නිදහසේම පැවසුවා…
“එහෙනම් ඉතිං මටත් නිදහසේ පරීක්‍ෂණ ටික කර ගන්න පුළුවන් වේවි…..”
“ඔව්…. මම ඔක්කෝම ලෑස්ති කරලයි තියෙන්නේ…. අපි යමු….”
මූලික ලිය කියවිලි සියල්ල අත්සන් කළ විශ්ව ගීතිකා සමග රෝහල් කාමරය වෙත පියමැන්නා…
“මේ තියෙන්නේ ඔයාගෙ ඇඳුම්…. ඔයා දන්නවනෙ කරන්න ඕන දේ…. මම විනාඩි දහයකින් එන්නම්….”
විශ්ව සිය ඇඳුම් එකිනෙක උනා තබා… රෝහල මගින් ලබා දුන් ගවුම වැනි ඇඳුම ඇඳගත්තා…. තමන්ගේ පසුපස භාගය නිරාවරණය වී ඇති බව ඔහුට වැටහුණත්, එය එම ඇඳුමට ආවේණික ලක්‍ෂණයක් බව ඔහු දන්නවා… කෙසේ වුවත් එය මනාව සකසාගෙන විශ්ව ඇඳේ හාන්සි වුණා…
විනාඩි පහකට පමණ පසු දොරට තට්ටු කරගෙන ගීතිකා සමඟ තවත් හෙදියක් පැමිණියා…
“අපට ඔයාගෙන් ලේ සාම්පලයක් ගන්න ඕන…..”
විශ්ව කිසිවක් නො කියාම සිය දකුණත විදහා පෑවා…
හෙදිය සුපුරුදු පරිදි සිය කාර්යය මනාව ඉටු කරමින් විශ්වට වැඩි රිදීමක් නො කරම රුධිර සාම්පලය ලබා ගත්තා…
“බොහොම ස්තූතියි….” ඇය ආචාර කර පිටව ගියා…
“ඉතිං? ගීතිකා විශ්වගේ දෑස් තුළට එබෙමින් සිනාසෙමින් විමසුවා….”
“ඉතිං නේද?”
“හොඳින් ඉන්නවා…. ඔයා කිවුවෙ නැත්නම් මට ඇත්තටම පරීක්‍ෂණ කරවගන්නත් අමතක වෙනවා…. කොහොම වුණත් දැන් මට සෑහෙන සනීපයි.. පර්යේෂණාගාරයේ වැඩත් හොඳින් කෙරීගෙන යනවා… සමහරවිට අපට ඉක්මනින්ම හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි….”
“බොහොම හොඳයි…. කොහොමද ඔයා මානසිකව?”
“මානසිකව බොහොම සමබරයි… ආයෙම මම භාවනා කරනවා… පන්සල් යනවා…. දැනෙන විදියට කිසිම අසමතුලිතතාවයක් නැහැ……”
“මම දන්නවා… ඔයාගෙ මොළයේ සටහන් ඉතාම හොඳ නිරවුල් සටහන්… සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුගේ සටහන්වල තියෙනවා යම් ව්‍යාකූල බවක්… නමුත් ඔයාගේ සටහන් බොහොම සරළයි… කොහොමද ඔයා මොළය නිරවුල්ව තියාගෙන ඉන්නෙ කියලා මට අමුතුවෙන් කියන්න ඕන නැහැ… නමුත් අපේ රෝහලේ සියලුම වෛද්‍යවරු ඔයාගෙ සටහන් අධ්‍යයනය කළා…. හැමෝම පුදුම වුණා ඒ සටහන් ගැන…..”
“ඔයා දන්නවනෙ ගීතිකා.. මම ප්‍රශ්න ඔළුවෙ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි කියලා…. සමහරවිට ඒක වෙන්නත් ඇති… ඒ වගේම මම නිතර භාවනා කරන නිසා මගේ මනස බොහොම සරළයි…. ඒක ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙවෙයි… ඔයාට ඕනම නම්, පන්සලේ මාත් එක්ක භාවනා කරන කීප දෙනෙක්ගෙ මොළයේ සටහන් අරගෙන බලන්න…. ඔක්කෝම එක වගේ සරළයි… ඕක මම හිතන්නෙ ඔයාට අමුතුවෙන් පැහැදිළි කරන්න අවශ්‍ය නෑ…..”
“මට තේරෙනවා….. අපි එකම මූලයකින් පැවත එන අය… නමුත් මේ අයට ඒ දේවල් තේරුම් ගන්න අමාරුයි…”
“හොඳයි…. අපි දැන් අනිත් පරීක්‍ෂණ ටික කරමු…. මම හෙදියට කතා කරන්නම් ඔයාගේ රුධිර පීඩනය, බර, ඇස් පෙනීම… වගේ සරළ පරීක්‍ෂණ ටික කරන්න… ඊට පස්සේ අපි ඔයාගෙ ශරීර ක්‍රියාකාරීත්‍වය බලමු….”
ගීතිකා ඇඳ අසළ වූ යතුරු පුවරුවේ බොත්තමක් තද කරමින් හෙදිය කැඳවූවා… ඇයට කළ යුතු සියල්ල පහදා දී කාමරයෙන් නික්ම ගියා…
විශ්ව හෙදියගේ විධානයන්ට අවනත වී සිය පරීක්‍ෂණවලට සහාය දැක්වූවා…. හෙදිය වරින් වර විශ්ව දෙස විමසිළිමත් බැලුම් හෙලමින් සිය පරීක්‍ෂණවල දත්ත ටැබ්ලට් පරගණකයක සටහන් කළේ කිසියම් කුතුහලයකින්…
“ඇයි මිස්…. මොකක් හරි ප්‍රශ්නයක් ද?” විශ්ව ඇගෙන් ප්‍රශ්න කළේ ඒ බැලුම් බලාගෙන ඉන්න බැරිම තැන…
“නෑ නෑ… කිසිම ප්‍රශ්නයක් නෑ…..”
ඇය සිය පරීක්‍ෂණ අවසාන කර විශ්වට නැවත වතාවක් ස්තූති කර පිටව ගියා…
එකවරම විශ්වගේ කාමරයේ දොර විවර කරගෙන පැමිණි පිරිස දුටු විශ්ව මවිතයට පත් වූයේ…. කුමක් සිදු වන්නට යනවා ද කියා කිසිම නිනව්වක් නොමැතිවයි…