SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 37

විශ්ව සිටි කාමරයට කඩා වැදුනේ ඔහු සිහිනෙකින්වත් නොසිතූ නමුත් තමන් හොඳින්ම දන්නා හඳුනන පිරිසක්.

ජනරාල් වෙලිංටන්, අද්මිරාල් බවර්, මොලී, ගීතිකා, සහ රෝහලේ අධ්‍යක්‍ෂක යන සියලු ම දෙනා විශ්ව රැඳී සිටි කාමරයට පැමිණියා.

විශ්වට එය අමුත්තක් නොවුණත්, සේවයේ යෙදී සිටි හෙදිය විශ්මයෙන් ගල් ගැසුණා.

තමන් සේවයේ යෙදුනතාක් මේ තරම් උසස් නිලධාරීන් පිරිසක් එකවර රෝගියෙකු බලන්නට ආ ප්‍රථම අවස්ථාව මෙය බව ඇයට මතක් වුණා. නමුත් ඒ මතකය වැඩිදුර රඳවා තබා ගන්නට ඉඩ නොදීම ඇයට කාමරයෙන් පිටව යන ලෙස සන් කෙරුණේ රෝහල් අධ්‍යක්‍ෂක විසින්.

කිසිවක් නො අඟවා විශ්ව සිය කටහඬ අවදි කළා.

“මොලී…………. ඇයි මේ?”

මාව බලන්න ඔක්කොමලා ආවෙ….. මොකක් හරි ප්‍රශ්නයක් ද? මට මම නොදන්න අමාරුවක් තියෙනව ද?

මොලී කිසිවක් නොකියා විශ්ව දෙස බලාගෙන සිටියා…. නමුත් කටහඬ පැමිණියේ අද්මිරාල් බවර් ගෙන්.

“විශ්ව… පුතා… අපට ඔයත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා… අපි කෙලින්ම කාරණයට බහිමු…”

“ඔයා අපේ ආයතනයට ආපු දවසේ ඉඳලා අපි අනිත් හැමෝම වගේ ඔයාවත් බොහොම සමීපව නිරීක්‍ෂණය කළා…”

“ඇක්සිඩන්ට් වුණ දවසේ ඉඳලාම ඔයාගේ වෛද්‍ය වාර්තාවල සිට සියල්ල ම රෝහලක් විදියට සහ ආයතනයක් විදියට අපි නිරීක්‍ෂණය කළා…”

“සමහර විට ඔයා හිතනවා ඇති අපි ඔයාගේ පෞද්ගලිකත්‍වය ආක්‍රමණය කළා කියලා… නමුත් මුල ඉඳලම අපි ඔයාගේ විශේෂත්‍වයක් දුටුවා… අන්න ඒ නිසාම රෝහලත්, පර්යේෂණාගාර සියල්ලමත්, ඔයාගේ රුධිරය පිළිබඳ විශේෂ පරීක්‍ෂණ කිහිපයක්ම කළා…”

“මම හිතන්නේ දැන් අපි ඇත්ත කියන්න ඕන අවස්ථාවට ඇවිත් තියෙනවා කියලා…”

සියල්ලන්ම නිහඬව බලා සිටිද්දී අද්මිරාල් බවර් එකදිගටම කතා කරගෙන ගියා.

විශ්ව කිසිත් නොකියාම බලා සිටියා.

“ඔයාගේ රුධිරය සුවිශේෂී ලක්‍ෂණ පෙන්නුම් කරනවා… අපි දන්නෙ නැහැ වෛද්‍ය විද්‍යාත්මකව වුවත් ඇයි මේ ලක්‍ෂණ පෙන්නුම් කරන්නෙ කියලා…”

“විශේෂයෙන්ම වෙනත් අයගේ දකින්නට නැති සුවිශේෂී පිරිසිදු කමක් ඔයාගෙ රුධිරයේ පෙන්නුම් කරනවා… සාමාන්‍යයෙන් වෙනත් අයගේ රුධිරයේ ආගන්තුක ද්‍රව්‍ය තිබිය හැකියි. උදාහරණයක් ලෙස ගන්නවා නම්, රෝගවලට ලබා දෙන ඖෂධ, දීර්ඝ කාලයක් නගරබද සිටින අයගේ දකින්නට හැකි විවිධ ලෝහ සාන්‍ද්‍රණවල අංශුමාත්‍ර ප්‍රමාණ හෝ දකින්නට පුළුවනි. ඒත්, ඔයාගේ රුධිරය තුළ එසේ කිසිදු ආගන්තුක ද්‍රව්‍යයක් දකින්න නැහැ. ඒ ඔයාගෙ රුධිරය සුවිශේෂී විදියට ස්වයං පිරිසිදුකිරීමකට ලක් වෙනවා. මෙන්න මේ ලක්‍ෂණය අපට වෛද්‍ය විද්‍යාවේ බොහොමයක් ප්‍රශ්නවලට උත්තරයක් විදියට යොදා ගන්න පුළුවන්.”

විශ්ව කිසිත් නො කියා ම බලා සිටියා.

“ඔයා අපටත් ලෝකයටත් ලොකු සම්පතක්… ඔයාව බඳවා ගන්නකොට අපි කවුරුවත් හිතුවෙ නැහැ ඔයා මේ වගේ කෙනෙක් කියලා… අපට විශ්ව උදව් කරන්න ඕන… මේ සොයා ගැනීම්වලට සරිලන දෙයක් කරන්න අපි සූදානම්. කොහොම වුණත් අපි විශ්ව කියන හෝ ඉල්ලන බොහෝ දේවලට හැකි පමණින් එකඟ වෙන්න කතා කරගෙනයි මෙතැනට ආවෙ…”

ඒ සියල්ල අවසානයේ තවමත් විශ්ව කිසිවක් නොකියා බලා සිටියා…. මොලී සෙමෙන් සෙමෙන් විශ්ව දෙසට පැමිණ ඇඳට හේත්තු වුණා.

“විශ්ව… මොකද සද්ද නැතුව? ඇය විශ්වගේ දෑස් තුළට එබී විමසුවා.

“මොනවා කියන්නද මොලී…? මට මේ කිසිම දෙයක් හරියට පැහැදිලි නැහැ… ඇයි මම මෙච්චර විශේෂ? ඇයි මට ඉල්ලන ඕනම දෙයක් දෙන්න ඔබ පොරොන්දු වෙන්න තරම් මගේ තියෙන සුවිශේෂීත්‍වය? මගේ ලේ කොහොම ද සුවිශේෂී වෙන්නෙ?”

ඒ වෙනකොටත් විශ්වගේ රුධිර වාර්තා සියල්ලම පරිගණක ගත කර, අසළ වූ මොනිටරය මත සනිටුහන් වෙන්න පටන් ගත්තේ රෝහල් අධ්‍යක්‍ෂකගේ ක්‍රියාකාරීත්‍වයෙන්.

“විශ්ව… මට සමාවෙන්න… සාමාන්‍යයෙන් රෝගියෙකුගේ රෝග විස්තර කිසිවෙකුටත් විවෘත නොකරන්න අපි බැඳිලා ඉන්නවා… අපි දන්නවා ඔබගෙන් නො විමසා ඔබේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම හෝ වෙනත් කටයුත්තකට යොදා ගැනීම බරපතල වරදක් කියලා. නමුත්. ඔබේ රුධිරය නිසා සමහරවිට ලෝකයේ මිනිසුන් මිලියන ගණනකට ජීවිතය දෙන්න පුළුවන් කියලා අපට කියන්න වුනොත්, මම හිතනවා ඔබ අපට සමාව දේවි කියලා…”

“ඔබ කොහොමද කියන්නේ මගේ රුධිරය නිසා මිනිස්සු මිලියන ගණනකගෙ ජීවිත සුවපත් කරන්න පුළුවන් කියලා?” විශ්ව එවිට ඇසුවේ තරමක උස් හඬින් සහ කුතුහලයකින්.

විශ්ව තමන්ට කුමක් හෝ සඟවන බව එතැන සිටි පළපුරුදු කිහිප දෙනෙකුටම ඒත්තු ගියා… මොලීත්, ජනරාල් වෙලිංටනුත් මුහුණට මුහුණ බලා ගත්තා.

“විශ්ව… අපි ඇත්ත කියමු…”  රෝහල් අධ්‍යක්‍ෂක නැවතත් කතාව පටන් ගත්තා…

“මේ තියෙන්නේ… ඔයාගෙ අනතුර වුණ වහාම ගත්ත රුධිර සාම්පලයෙ වාර්තාව… ඒ සාම්පලයේ සාමාන්‍ය පිරිසිදු රුධිර සංඝටක හැරෙන්නට ඇති සුවිශේෂීම දේ තමයි… එය අති පිරිසිදු සාම්පලයක් වීම. එහි ඔක්සිජන් සංතෘප්තතාවය උපරිමයි. ඇත්තෙන්ම එය කුඩා දරුවකුගේ රුධිරය තරම්ම පිරිසිදුයි…එය, සාමාන්‍ය වැඩුන මිනිසකුගෙන් බලාපොරොත්තු විය හැකි තත්ත්‍වයක් නොවෙයි…” “අන්න ඒ නිසයි අපට ඔයා සුවිශේෂි කියලා මුලින්ම හැඟුනෙ… ඊට පස්සෙ අපි වරින් වර ඔයාගෙ රුධිර සාම්පල් ගන්න හැම වෙලාවෙම සියලු ම තත්ත්‍ව පරීක්‍ෂා කළා… සමහර වෙලාවට බෙහෙත් නිසා රුධිරය අපිරිසිදු වුණත්, පසුව නැවතත් රුධිරය පෙර පැවති පිරිසිදු තත්ත්‍වයටම පැමිණියා… අද ගත් රුධිර සාම්පලයෙ වාර්තාවත් කිසිම වෙනසක් නැති පෙර සාම්පලය හා සර්ව සම නිසා තමයි අපි විශ්වාස කරන්නෙ ඔයාගෙ රුධිරය ස්වයං පිරිසිදු කිරීමකට ලක් වෙනවා කියලා… මෙන්න මේ සංසිද්ධිය අපට ලෝකයේ බොහෝ දෙනෙකු ජීවත් කරවන්න භාවිත කරන්න පුළුවනි.”

“දැන් අපට දැනගන්න අවශ්‍ය, මේ ස්වයං පිරිසිදු කිරීම සිදු වන්නෙ කොහොමද කියලයි… මොකද කියනවා නම්, රෝහලේ ඔබ නැවතී සිටි කාලය තුළ ඖෂධ පාවිච්චි කිරීම නිසා ඔබේ රුධිරයේ පිරිසිදු භාවය අඩු වුණා… නමුත් ඔබ නැවත නිවසට ගිහින් එකකොට, මේ තත්ත්‍වය නැවතත් වෙනස් වෙලා රුධිරයේ සංයුතිය නැවතත් පිරිසිදු වුණා… මේ නිසා අප උපකල්පනය කරනවා ඔබ නිවසේ දී පාවිච්චි කළ යමක් හෝ අනුගමනය කළ ක්‍රියා පටිපාටියක් නිසා මේ සිදුවීම වුණා කියලා…”

“ඉතිං විශ්ව… අපට දැන ගන්න අවශ්‍ය මේ ක්‍රියාවලිය ඔබ දැනුවත්ව හෝ නො දැනුවත්ව සිදු වුණා ද? එසේ සිදු වුණා නම් අපට වෛද්‍ය විද්‍යාත්මකව ඒ ක්‍රියාවලිය පිළිබඳ පුළුල් සොයාගැනීමකට යන්න පුළුවන් ද කියන එක තමයි…”

විශ්ව කිසිත් නොකියා සාවධානව අසා සිටියා.

“විශ්ව…” මොලී සිය කටහඬ අවදි කළා.

විශ්ව මොලී දෙසත්, අනිත් සියලුම දෙනා දෙසත් තියුණු සහ අසරණ බව කැටි වුණ බැල්මක් හෙළුවා… දිගු සුසුමක් හෙළුෑ විශ්ව තරමක් වෙලා කල්පනාවේ නිමග්න වුණේ කුමක් කරන්න ද යන සිතිවිල්ලෙන්… අන් සියලුම දෙනා විශ්ව දෙස නොයිවසිල්ලෙන් බලා සිටියේ විශ්ව කරන්න යන්නේ කුමක්දැයි කිසිදු නිනව්වක් නොමැතිව.

“මට දුරකථන ඇමතුමක් ගන්න ඕන… කෝ මගේ දුරකථනය?”

මොලී විශ්වගේ දුරකථනය සෙවීමේ වෑයමක නිරත වෙද්දී ගීතිකා ඉක්මනින් දිවගොස් විශ්වගේ ඇඳුම් තබා තිබූ ස්ථානයෙන් දුරකථනය රැගෙන ආවා… ඇයටත් මෙය හරිම ප්‍රහේලිකාවක්.

දුරකථනය ක්‍රියාත්මක කළ විශ්ව තනි අංකයක් දිගු වේලාවක් ඔබාගෙන සිට දුරකථනය කණෙහි තබා ගත්තා.

“සිදු වන්නේ කුමක් වුවත්, එය වැදගත් අවස්ථාවක් බව තේරුම්ගත් මොලී සිය සාක්කුවෙන් ජංගම දුරකථනයක් වැනි උපකරණයක් ගෙන එහි වූ බොත්තම් කිහිපයක් ඔබා සිය අත්ලෙහි තබා ගත්තා…”

මුලින්ම රුසියානු භාෂාවට සමාන භාෂාවකින් දුරකථනයේ එහා කෙළවරෙහි සිටි පුද්ගලයා ඇමතූ විශ්ව තවත් භාෂා කිහිපයකින් ඉතා වේගයෙන් අදහස් හුවමාරු කරගැනීමට පටන් ගත්තේ සියලුම දෙනා විමතියට පත් කරමින්… මොලී සිය උපකරණයේ තිරය දෙසට නෙත් යොමා සිටියත්, ඇයද කිසිවක් කරකියාගත නොහැකි ව ජනරාල් වෙලිංටන් දෙස බලා සිටියා.

විනාඩි පහක් පමණ භාෂා කිහිපයක් මාරුවෙන් මාරුවට කතා කළ විශ්ව අවසානයේ දුරකථනය විසන්ධි කර කාමරයේ සිටි අමුත්තන් දෙසට හැරුණා.

මොලීගේ උපකරණයේ සඳහන් වූයේ විශ්ව කළ කතා බහේ පරිවර්තනයක් වුවත්, එය භාෂා අටකින් පමණ සිදු වූවක් නිසා නිසි පරිවර්තනයක් කරගත නොහැකිව සී අයි ඒ සංවිධානයේ භාෂා පරිවර්තකයා ද අසරණ වූ බවක් පෙන්නුම් කෙරුණා.

“මහත්වරුනි… ඔබ මේ මට විස්තර කරන්න කියන කරුණ සරළ කරුණක් නොවෙයි… මම හොඳින්ම දන්නවා මගේ රුධිරය සුවිශේෂී කියලා… මගේ රුධිරයේ එක්තරා ලක්‍ෂණයක් තිබෙනවා ආගන්තුක ද්‍රව්‍ය ප්‍රතික්‍ෂේප කරන… එසේම එය ස්වයං පිරිසිදු කිරීමකට ලක්වෙනවා ද කියලා ඔබ ඇසුවා… නැහැ… එය ස්වයං පිරිසිදුවීමකට ලක් වන්නෙ නැහැ… නමුත්, එය මා අනුගමනය කරන එක්තරා ක්‍රියා පටිපාටියක් නිසා සිදුවන සිදුවීමක්…”

“එය නීතිවිරෝධී ක්‍රියාවක් නොවෙයි… නමුත් එය මා පානය කරන සහ ඇඟ ගල්වන බෙහෙතක් නිසා සහ තවත් චර්යාවන් නිසා සිදුවන සිදුවීමක්…”

“එසේම… එය මට පමණක් ආවේණික යමක් නොවෙයි… මගේ රුධිරය මෙන්ම පිරිසිදු රුධිරය සහිත තවත් පුද්ගලයෙකු මේ අවට ම ඉන්නවා…”

සියල්ලන් පුදුමයට පත් කරමින් විශ්ව පවසා සිටියා.

“ජනරාල් වෙලිංටන් විමසන විට මොලී සිය දුරකථනයේ තිරය ජෙනරාල්වරයාට පෙන්වා සිටියේ ඒ වන විටත් විශ්ව ලබා ගත් දුරකථන ඇමතුම කාට ගත්තා ද යන්න සීඅයිඒ මූලස්ථානයෙන් සොයාගෙන මොලීට දන්වා තිබූ නිසා…

“ඒ අනිත් පුද්ගලයා කව්ද?”

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

%d bloggers like this: