අපේ විද්‍යා දියුණුවට නව ගැම්මක්!
ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිවාරය මේ දිනවල කොළඹ දී පැවැත් වේ. එහි සමාරම්භක උත්සවය දෙසැම්බර් දෙවැනි දා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආචාර්ය සරත් අමුණුගමත්, විශේෂ ආරාධිතයා ලෙස නාසා ජෙට් ප්‍රචාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලත් සහභාගි වූහ.
විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ විද්‍යාඥයන්, මාධ්‍යවේදීන් ගුරුවරුන් සහ සිසුන් ද මෙහි දී සම්මානයට පාත්‍ර වූ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගුරු සිසු විශාල පිරිසක් ඒ අවස්ථාව සඳහා සහභාගී වූහ.
මෙවර සැසියේ තේමාව වූයේ, “තිරසාර සංවර්ධනය සඳහා අභ්‍යවකාශ විද්‍යාව හා තාක්ෂණය” යන්නයි. එම තේමාව අළලා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ දී පැවැති සම්මන්ත්‍රණය සඳහා සමාරම්භක දේශනය පවත්වමින් ‘හිරු මඬල සහ ඉන් ඔබ්බේ අභ්‍යවකාශය තිරසාර ලෙස ගවේෂණය’ කළ හැක්කේ කෙසේ දැයි ආචාර්ය සරත් ගුණපාල පැහැදිලි කළේ ය. ‘පෘථිවි සහ අභ්‍යවකාශ පරිසරය සඳහා භූ චුම්භක පර්යේෂණ’ මැයෙන් ජපානයේ කයුෂු විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ඒ යොෂිකාවා විසින් ද දේශනයක් පැවැත්විණි.
නූතන ඖෂධ සංවර්ධනය කිරීම සඳහා අභ්‍යවකාශ තාක්ෂණය යොදා ගන්නේ කෙසේ දැයි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න සිය දේශනයේ දී පැහැදිලි කළේ ය.
පොළොව මත ජීවය තිරසර කිරීම සඳහා අභ්‍යවකාශ තාක්ෂණය යොදා ගන්නේ කෙසේ දැයි යන්න, දැනට සිදු කළ හා සිදු කැරෙමින් පවතින පර්යේෂණ ඇසුරින් උදාහරණ පාමින් කොළඹ විශ්වවිද්‍යාලයයේ සත්ත්ව විද්‍යාව පිළබඳ මහාචාර්ය දේවක වීරකෝන් සිදු කළ දේශනය කාගේත් අවධානයට යොමු විය.
ආර්ථික සංවර්ධනය උදෙසා තිරසර ලෙස කෘෂි ක්ෂේත්‍රයේ දී ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ, එකී ඩ්‍රෝන යානාවල සැබැ ආකෘති ප්‍රදර්ශනය කරමින් ආකර්ශනීය දේශනයක් පැවැත්වූයේ මොරටුව විශ්වවිද්‍යාලයයේ විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යයනාංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහයන් ය.
මීට අමතරව කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රායේ දී විද්‍යා තාක්ෂණයට අදාළ විද්‍යාත්මක ඉදිරිපත් කිරීම් දෙසැම්බර් පස්වැනි දා සිට හත්වැනි දා දක්වා තෙදිනක් පුරා පැවත් වේ.
මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 74 වැනි සැසිවාරයයි. නිදහසෙන් පසු 70 වසරක විද්‍යා තාක්ෂණ දියුණුව අළලා වෙසෙස් සැමරුමක් පැවැත්වීම ද මෙවර සැසිවාරයේ විශේෂත්වයකි. ඒ වෙනුවෙන් දෙසැම්බර් පස්වැනි දා සිට අටවැනි දා දක්වා විද්‍යා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත් වේ.
විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය, ජාතික විද්‍යා පදනම, ආතර් සී ක්ලාක් ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, නැනෝ තාක්ෂණ ආයතනය වැනි රාජ්‍ය හා පෞද්ගලික ආයතන රාශියක් ද මේ සඳහා දායක වේ.
මේ පිළිබඳ වැඩි දුර තොරතුරු http://slaas.lk/ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.