SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 38

මොලීගේ දුරකථන තිරයේ සටහන් වූයේ වොෂිංටන් බෞද්ධ විහාරයේ වැඩ වාසය කරන හිමි නමකගේ පින්තූරයක්.

ඒ අන් කිසිවකුගේ නොව…. මඩකුඹුරේ අත්ථදස්සි හිමියන්ගේ…

“ඔව්…. මගේ රුධිරය හා සමානවම පිරිසිදු රුධිරයක් අත්ථදස්සි හිමියන්ගේ ශරීරයෙත් තියෙනවා. ඒ අපි දෙදෙනාම අනුගමනය කරන එක්තරා පිළිවෙතක් නිසා.”

“ඒ මොකක්ද ඒ?……..” වෛද්‍ය අධ්‍යක්‍ෂවරයා ඇසුවෙ නොයිවසිල්ලෙන්….

“ඒක සරළව කියන්න පුළුවන් සංසිද්ධියක් නොවෙයි….. ඒක පෙරදිග වෛද්‍ය ක්‍රමය සහ ගැඹුරු භාවනා ක්‍රම මිශ්‍ර සංකලනයක්. මේ නිසයි මම කිවුවෙ මේක කියන තරම් පහසු නැහැ කියලා.”

“ඒ කියන්නෙ?”

“සාමාන්‍යයෙන් කිසිම කෙනෙකුගෙ රුධිරය අති පිරිසිදු වෙන්නෙ නැහැ… ඒ මොකද කියනවා නම්, ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා සිදුවීමේ දී සහ ජීර්ණය, ආහාර බිඳ වැටීම වගේ කාරණා සමග ඒ ඒ ආහාරවල ඇති විවිධ රසායන ද්‍රව්‍ය රුධිරය හා මිශ්‍ර වෙනවා. මේ රසායන ද්‍රව්‍ය සමහරක් ශරීරයට අවශ්‍ය වුවත්, තවත් සමහරක් අනවශ්‍යයි. මේවා සමහරවිට ශරීරයට හානිදායකයි. ස්වභාවයෙන් අක්මාවේ දී සහ වකුගඩුවලින් පෙරණය වීම නිසා ඉවත් වුවත්, සෑහෙන ප්‍රමාණයක් ශරීරයේ ඉතිරි වෙනවා. මේ නිසා කිසිම වෙලාවක රුධිරය සම්පූර්ණ පිරිසිදු භාවයට පත් වන්නෙ නැහැ.”

“ඔබ හරි… නමුත් කොහොමද ඔබේ රුධිරය මෙසේ පිරිසිදු වන්නෙ?”

“මම සුවිශේෂී බෙහෙතක් පාවිච්චි කරනවා. මේ බෙහෙත ශාක කිහිපයක සංකලනයක්. එය තෙලක් විදියට ශරීරයේ ගැල්වීම මගින් ශරීරයට උරා ගන්නවා. මෙසේ උරාගත් ඖෂධ ඉතා කෙටි වේලාවකින් ශරීරය පුරාම ගමන් කර රුධිරයේ පිරිසිදු කිරීම ඇරෙඹනවා.”

“ආ…. ඒ නිසා තමයි ඔබ රෝහලේ සිටි කාලයේ දී රුධිරය පිරිසිදු කිරීම සිදු නොවුණෙ…. ඔබ දන්නවද ඒ තෙල් වර්ගය සකස් කරන්න? එවිට සමහරවිට අන් අයටත් මේ ඖෂධය භාවිත කරලා රුධිරය පිරිසිදු කිරීම කරන්නට පුළුවන්… සමහරවිට මෙය පිළිකාව වැනි රෝගවලටත් පිළියමක් වන්නට පුළුවන් වේවි නේද?”

“වෛද්‍ය අධ්‍යක්‍ෂවරයා නැවතත් නොයිවසිල්ලෙන් විමසුවා…”

“පුළුවන් වේවි…. නමුත් එහි ප්‍රතිඵල සියයට සියයක් සාර්ථක නොවන්නට පුළුවන්…”

“ඇයි ඒ?”

“ඒ බෙහෙත් ගැල්වීම පමණක් රුධිරය පිරිසිදු කිරීමට ප්‍රමාණවත් නැහැ…”

“එහෙනම් තවත් මොනව ද කරන්න ඕන?”

“අන්න එතන තමයි ඔබට ප්‍රතිනිර්මාණය කරන්න අමාරු කාර්යය සිදු වෙන්නෙ.”

“ඒ මොකක්ද?”

“මේ බෙහෙත් කොපමණ ගැල්වුවත්, එය ක්‍රියාත්මක වන්නෙ එක්තරා අවස්ථාවක පමණයි. ඒ සඳහා සිතේ බලයත් අවශ්‍ය වෙනවා… ඔබ නොදන්නවා වුණාට බොහොමයක් පෙරදිග බෙහෙත් වර්ග ඒවා ඇඟ ගැල්වූ පමණින්ම ක්‍රියාත්මක වන්නෙ නැහැ… එයට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය, පරිසරය ලබා දිය යුතුයි. මේ නිසා, මේ බෙහෙත් හැම කෙනාට ම සියයට සියයක්  ප්‍රතිඵල ලබා දෙන්නෙ නැහැ. ඔබ සමහරවිට සිතනවා ඇති මේ ආයුර්වේ ද බෙහෙත් හොඳම ප්‍රතිඵල ලබා දෙනවා කියලා… නමුත් නියම ක්‍රමය බොහෝ තැන්වල ක්‍රියාත්මක වන්නෙ නැහැ…”

“ඒත් ආයුර්වේද ක්‍රමය බොහෝ රටවල මෙන්ම පෙරදිගත් ප්‍රචලිතයි.”

“ඔව්… බොහොම ප්‍රචලිතයි…. බටහිර ජාතීන් ලංකාව, ඉන්දියාව වැනි රටවලට යනවා ආයුර්වේද බෙහෙත් ක්‍රම සිදු කිරීමට…. නමුත්, නියම ආයුර්වේද වෛද්‍යවරු සිටින්නේ බොහොම අල්පයයි. ඒ අතරින් නිසි ශාස්ත්‍රය අනුව පිළයම් කරන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයක්…”

“ඔබ කොහොම ද මේ තරම් විස්තර දන්නෙ?” ජෙනරාල් වෙලිංටන් මෙතෙක් සාවධානව අසා සිට, විශ්වගෙන් ඇසුවා…

“ජනරාල් තුමනි…. මම ඒ ශාස්ත්‍රය දැන් නිසිලෙස හදාරන නිසයි දන්නෙ…”

“ඔබ ඇමරිකාවෙ ඉඳගෙන කොහොම ද ඒ ශාස්ත්‍රය හදාරන්නෙ?”

“මගේ ගුරුදේවයන් දැන් මෙතැනට වඩිනවා….. එතකොට ඔබට හැකි වේවි මේ සියල්ලම නිරාකරණය කර ගන්න….” විශ්ව කිසිම කලබලයකින් තොරව පැවසුවා.

එතැන සිටි සැම දෙනාම පුදුමයට පත් කරමින් ඒ ඇසිල්ලෙන්ම කාමරයට වැඩියේ මඩකුඹුරේ අත්ථදස්සි හිමියන්. බොහොම ශාන්ත ගමනින්, කිසිම කලබලයක් නොමැතිව කාමරයට වැඩිය හිමියන්, විශ්ව සිටි ඇඳ අසළ සිටගත්තා.

“මම හිතන්නෙ මේ අයට තිබුණ ප්‍රශ්න රාශියකට විශ්ව පිළිතුරු ලබා දෙන්න ඇති.” පැහැදිලි ඉංග්‍රීසියෙන් උන්වහන්සේ විමසුවෙ ජනරාල් වෙලිංටන්ගෙන්….

“ඔව්…. නමුත්, අපට අත්‍යවශ්‍ය උත්තර තවම ලැබුණෙ නැහැ…” ජනරාල් වෙලිංටන්ගෙ පිළිතුර සරළයි, ඍජුයි.

“මම දන්නවා…. ඔබට විතරක් නොවෙයි ලෝකයේ බොහෝ දෙනෙකුට මේ සංසිද්ධිය තේරුම් ගන්න අමාරුයි. එහෙම නේද අධ්‍යක්‍ෂ තුමා?” අත්ථදස්සි හිමියෝ වෛද්‍ය අධ්‍යක්‍ෂ ගෙන් විමසුවෙ බොහොම විශ්වාසයෙන්.

“ඔව්… අපි දන්නා වෛද්‍ය විද්‍යාවට අනුව මේක සිදුවීමට අපහසු කරුණක්… නමුත්, දැන් ඔබ දෙදෙනාම කියන පරිදි මේ සිදුවීම විය හැකියි… එක් අයෙකුට පමණක් වුනා නම්, අපට කියන්න පුළුවන් මේක කිසියම් අසාමාන්‍යතාවයක් නිසා සිදු වූවක් බව. නමුත්, ඔබ දෙදෙනාම සහතික කර කියන නිසා, සහ විශ්වගේ සියලු ම රුධිර පරීක්‍ෂාවල ප්‍රතිඵල අනුසාරයෙන් කියන්න පුළුවනි, මේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිදු වූ යමක් නො වන බව…”

“අන්න ඒ නිසා වගේම, මේ සොයාගැනීම ලෝකයටම දායාද කරන්න පුළුවන් නම්, ලෝකයේ බොහෝ රෝගවලට පිළියමක් විය හැකි නිසාම, අපි මේ සංසිද්ධිය තවදුරටත් විශ්ලේෂණය කරන්න තීරණය කළා.”

“අපි විශ්වගේ රුධිරය පිළිබඳ උනන්දු වුණේ අපට පළමු රුධිර වාර්තාව ලැබුන පසුවයි. ඒත් අපි දිගින් දිගටම පරීක්‍ෂාවෙන් පසු වුණේ අපට වැරැද්දක් වී ඇති දැයි සැක හැර ගැනීමට. මේ නිසා අපි විශ්වගේ රුධිරය නිරන්තරයෙන් පරීක්‍ෂාවට භාජනය කළා. විශ්ව රෝහලේ සිටිය දී අපි නිතිපතා රුධිරය පරීක්‍ෂා කළා වගේම රෝහලට පැමිණි සෑම අවස්ථාවකමත් අපි විශ්වගේ රුධිර සාම්පල ලබා ගත්තා.”

“මේ සියල්ලම කළේ අපට මේ සංසිද්ධිය හුදෙක් එක් අහඹු සිදුවීමක් නො වන බවට සහතික කර ගැනීමට. මේ සහතික කර ගැනීම අපි ස්ථිර කරගත් නිසා තමයි, මේ සියලු ම දෙනා අද විශ්ව සමග සාකච්ඡා කරන්න තීරණය කළේ.” වෛද්‍ය අධ්‍යක්‍ෂතුමා බොහොම නිරවුල්ව කරුණු පැහැදිළි කළා.

“මට මතකයි, මම ඔබේ හෙදියන්ගෙන් විමසුවා ඇයි මේ තරම් රුධිර සාම්පල ගන්නෙ කියලා…” විශ්ව යමක් ආවර්ජනය කළා.

“ඉතිං… කොහොමද මේක විසඳන්නෙ?” අද්මිරාල් බවර් ඇසුවෙ ඔහු නිතරම ප්‍රතිඵල මත තීරණ ගන්න කෙනෙක් නිසා.

“සමහරවිට මට මේක පැහැදිලි කරන්න පුළුවන් වෙයි… නමුත්, මට සැකයි මම කියන මේ දේවල් ඔබගේ ප්‍රඥාවට ගෝචර වෙයි ද කියලා.. මොකද, ඔබ නිතරම තීරණ ගන්නේ පැහැදිලි දත්ත මත පදනම් වෙලා විතරයි.. සමහරවිට, මේ දේවල් දත්ත සහ විද්‍යාත්මක තොරතුරු මත පමණක්ම පදනම් වෙලා ගන්න පුළුවන් තීරණ නෙවෙයි… නමුත්, මේ අවුල පැහැදිලි කරගන්න මම හිතන්නෙ මම මේ දේවල් කියන්නම වෙනවා… නැතිනම් ඔබත් අවුල් සහගත තත්ත්‍වයකට පත් වෙනවා. ඔයගොල්ලෝ අපිත් අමාරුවෙ දානවා…”

එතැන සිටි සියල්ලෝම මුහුණට මුහුණ බලා ගනිත්දී අත්ථදස්සි හිමියන් ප්‍රකාශ කළේ අද්මිරාල් බවර් ගේ සිත කියවූවාක් මෙන්…

“කමක් නැහැ…. අපටත් මේක ප්‍රශ්නයක්…. අපට මේ දේ ගැන හරියටම තොරතුරු දැන ගැනීම නිසා බොහෝ වියවුල් විසඳගන්න පුළුවන් වේවි…. අපිත් බොහෝ දේ අනුමාන කරලයි සිතාගෙන සිටියෙ…

නමුත්, මේ කාරණය අපි හිතුවට වඩා බොහෝ සේ වෙනස් මාවතක ගමන් කරන කාරණයක්… මේ නිසා අනිවාර්යයෙන්ම අපි මේ සිදුවීම්වල ඇත්ත නැත්ත හරියටම දැනගත යුතුමයි…වෛද්‍ය විද්‍යාවෙන් පවා පැහැදිලිකරගත නොහැකි වූ දේවල් මෙතැන තිබෙන නිසා, ඇත්තටම අපට අවශ්‍යයි මෙතැන සිදු වෙච්ච දේ හරියටම පැහැදිලි කර ගන්න…”

රෝහල් අධ්‍යක්‍ෂතුමා නැවත නැවතත් සිය අරමුණ පවසා සිටියේ ඔහු ඒ තරම්ම මේ කාරණා දැනගැනීමට ඇති අවශ්‍යතාවය සහ උනන්දුව නිසාමයි.

“එහෙනම් අපි මෙහෙම පටන් ගනිමු….. අත්ථදස්සි හිමියන් විශ්වගේ දෑස් දිහා බලාගෙනම පැවසුවා…”

විශ්ව ද හිස සලා එතුමාගේ කීම අනුමත කළා.

“බෞද්ධ දර්ශනය, පෙරදිග විද්‍යාව සහ පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රය කියන්නෙ එකම නූලක එකිනෙක වෙලී තියෙන නත්තු තුනක් වගේ.. මේ තුනම, එකිනෙක හා මිශ්‍ර වනවා පමණක් නොවෙයි, මේ තුනටම එකිනෙකාගෙන් ස්වායක්ත වන්නත් නොහැකියි. මොකද, නියමිත පරිදි සිදු කරන වෙදකමකට, මේ තුනෙන්ම අඩු වැඩි වශයෙන් දායකත්‍වයක් අත්‍යවශ්‍යයි.”

“ඔබ සියලුම දෙනා දන්නවා බුදු දහමේ සිත එකඟ කිරීම, සිත දියුණු කිරීම ආදී නොයෙක් අංශවලින් මිනිසාගේ සිත, යථා අවස්ථාවක සිට ඉන් එහා සෑහෙන දුරකට ගෙන යෑමට හැකි විවිධාකාර සිත දියුණු කිරීමේ ක්‍රම ඇති බව. විවිධාකාර භාවනා ක්‍රම, විවිධාකාර බෙහෙත් වර්ග ආදිය භාවිත කරමින් නූතන වෛද්‍ය විද්‍යාවට සිතාගත නොහැකි අන්දමේ තත්ත්‍වයන් කරා ලඟා වන්නට මේ අංශ තුනෙහි සම්මිශ්‍රණයක් තුළින් හැකියි…”

“අතීතයේ මිනිසුන් වසර සිය ගණනක් ජීවත් වුනේත්, සිත දියුණු කර, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ග ඵල ලබා ගත්තේත්, පොත පතේ සඳහන් වූ විවිධාකාර ප්‍රාතිහාර්යයන් පෑමට හැකියාවක් ලැබුණේත් මෙන්න මේ සිත සහ ගත එක සංඛ්‍යාතයක පවත්වාගෙන යෑම සහ ශරීරය හැකිතාක් ස්වභාවයට අනුගත කර ජීවත් වීම නිසා…”

“ඒ අනුව, මිනිසුන් වසර 100කට වඩා, සමහරවිට 120ක් පමණ උපරිම ආයු කාලයකින් ජීවත් වුණා. ඒත්, දැන් – වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුණත්, උපරිම අවුරුදු 100කට වඩා මිනිසුන්ට ජීවත් වන්නට බැහැ. ගතට විතරක් නොවෙයි… සිතටත් බෙහෙත් දෙන්න ඕන… ඒක තමයි බටහිර කියන්නෙ Healthy Body, Healthy Mind කියලා… ඒත් බොහොමයක් දෙනා මේක හරිහැටි තේරුම් ගන්නෙ නැහැ. කොච්චර නිරෝගී ශරීරයක් තිබුණත් වැඩක් නැහැ සිත නිරෝගී නැත්නම්…”

සියලුම දෙනා සාවධානව අසා සිටියා විනා වචනයක් හෝ ‘හ්ම්’ ශබ්ධයක්වත් පිට කළේ නැහැ.

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් පවත්වාගෙන යන අතර රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි සපයන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.

%d bloggers like this: