
මුහුණ අල්ලා කොරෝනා ඉල්ලා ගනිමු ද?
මුහුණ ඇල්ලීම නවත්වන්නේ කොහොම ද?
කොරෝනා වයිරසය පමණක් නොව වෙනත් විෂබීජයක් වුව, ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා මුහුණ ඇල්ලීමෙන් වැළකීම ඉතා වැදගත් වේ. කෝවිඩ්-19 වයිරසය ලෝහ හෝ ප්ලාස්ටික් මතුපිට දින ගණනක් වුව ද නො නැසී පැවැතිය හැකි නිසා, නො සේදූ අතකින් උපැස් යුවලක් සකස් කිරීම වැනි සුලු දෙයකින් පවා එය ආසාදනය වීමට ඉඩකඩක් ඇත. සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද ජනතාවට ඔවුන්ගේ මුව නො අල්ලා සිටින ලෙසත්, සෑම විට ම දෑත් පිරිසිදු කර ගැනීමටත් උපදෙස් දෙන්නේ ඒ නිසා ය.
සායනික හා පර්යේෂණ තොරතුරු අනුව, ජනතාව කෝවිඩ්-19 වසංගතයට ගොදුරු වීමේ හැකියාවෙන් ගලවා ගැනීම සඳහා ‘මුහුණ නො ඇල්ලීම’ පුරුදු කළ යුතු ආකාරය පොපියුලර් සයන්ස් සඟරාවේ ලිපියකින් පසුගිය දා දක්වා තිබිණි.
මිනිස්සු නිතරම ඔවුන්ගේ මුහුණු ස්පර්ශ කරති. ඔවුහු ඇස් පිසති, නහය කසති, නියපොතු හපති. තැවුල් සහගත විට, අපහසුවට පත් වූ විට හෝ ආතතියට පත් වූ විට පමණක් නොව කිසිම හැඟීමක් නොමැති විටෙක පවා අපේ ඇත්තෝ මුහණ අල්ලති. සිසුන්, කාර්යාල සේවකයින්, වෛද්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයන්, දුම්රියේ ගමන් කරන්නන් ආදීන් එක් පැයක දී, නව වතාවක සිට විසිතුන් වතාවක් දක්වා සිය මුහුණු ස්පර්ශ කරන බව අධ්‍යයනවලින් අනාවරණය වී ඇත.
මෙයින් වැළකීම එතරම්ම දුෂ්කර කාරියක් වන්නේ ඇයි? මස්පිඩු ආතතිය, කැසීම ආදී අපහසුතාවල දී මුහණ ඇල්ලීමෙන් අපට යම් සහනයක් ලැබේ. මෙවැනි අපහසුතා සාමාන්‍යයෙන් මිනිත්තුවකින් පමණ ඉබේම පහව ගියත්, මුහුණ ඇල්ලීමෙන් එයට ක්ෂණික සහනයක් ලැබේ. කෙසේ වුවත් අවසානයේ දී එය වෙනස් කර ගැනීමට අපහසු තරමේ පුරුද්දක් බවට පත් වී තිබේ.
ඇබ්බැහි වූ හැසිරීම් වෙනස් කරමු
කිවිසන විට අත්ල වෙනුවට වැළමිටෙන් ආවරණය කර ගැනීම, අතට අත දීම වෙනුවට දෑත් එක්කොට ආචාර කිරීම ආදී ලෙසින් ඇතැම් පුරුදු ඔබ දැනටමත් වෙනස් කර ගෙන තිබෙන්නට පුළුවන. එහෙත් අතට අත දෙනවා හෝ කහිනවා මෙන් නොව, මුහුණ ඇල්ලීමේ දී අප එය කරන්නේ, නො දැනුවත්ව ම නිරායාසයෙනි. එබැවින් මුහුණ ඇල්ලීමෙන් වැළකීමේ පළමු පියවර වන්නේ, ඒ ගැන සිහිය එළඹවා ගැනීමයි.
ඔබ ඔබේ මුහුණ අල්ලන සෑම වාරයක දී ම, ඔබ කරමින් සිටියේ කුමක් ද, භෞතිකව ඔබ සිටියේ කොහි ද, එසේ නොමැති නම් මානසිකව ඔබ සිටියේ කුමන හැඟීමක ද ආදී වශයෙන් එය කිරීමට පෙළඹුණු ආකාරය ගැන සැලකිල්ලට ගන්න. ඔබට නො දැනීම එය සිදු වේ නම්, එවැනි අවස්ථා පෙන්වා දෙන ලෙස ඔබ අසල සිටින අයෙකුගෙන් ඉල්ලාසිටීමට ද ඔබට පුළුවන.
මෙය සටහන් කර ගැනීමට ඔබට පුළුවන් නම්, ස්වයං-අධීක්ෂණය වඩාත් කාර්යක්ෂම වේ. ඔබ මුහුණ අල්ලන සෑම අවස්ථාවක දී ම, ඒ පිළිබඳව කෙටි සටහනක් තබා ගැනීමට ඔබට පුළුවන.
එවැන්නක් මෙසේ විය හැකි ය. “ඇඟිල්ලෙන් නහය කැසුවා, කැසීමක් දැනුණා, කණ්නාඩිය පිරිමැද්දා, අත් පුපුරුගැහුවා, අල්ල උඩ නිකට තියා ගත්තා”
මේ ආකාරයෙන් කරන ස්වයං-අධීක්ෂණය වඩාත් සාර්ථක වන්නේ එහි ප්‍රතිඵල අන් අය සමඟ බෙදා ගත් විට දී ය. එබැවින් ඔබේ ප්‍රතිඵලය මිතුරන් අතර හෝ සමාජ මාධ්‍යයේ බෙදා හදා ගැනීමට කටයුතු කරන්න.
අලුත් ප්‍රතිචාර ඇති කරන්න
දැන් ඔබේ වෙනස් කර ගත යුතු චර්යාව කුමක් දැයි ඔබ දන්නා බැවින්, ඔබේ මුහුණ ඇල්ලීමට පොළඹවාලන මස්පිඩු චලනයට විරුද්ධ ප්‍රතිචාරයක් ඒ වෙනුවට ඇති කළ හැකියි. මුහුණ ඇල්ලීමේ අවැසිතාවක් දැනුණ විට දී, අත්මිටමෙලවීම, දෑත් මත අසුන් ගැනීම, කලවා මත අත්ලෙන් තෙරපීම හෝ දෙපසින් පහළට වැටෙන සේ අත් විහිදුවීම එසේ දැක්විය හැකි ප්‍රතිචාර කිහිපයකි. මේ තරගකාරී ප්‍රතිචාර ‘වැඩි ගණනකට නො ගෙන’ සිදු කළ යුතුවාක් මෙන් ම, අඩු තරමේ විනාඩියක්වත් දරා සිටිය හැකි පිහිටුමක දී භාවිත කළ යුතු ය. ඔබට මුහුණ ස්පර්ශ කිරීමේ වුවමනාව පවතින තුරුම මෙය කළ යුතු ය.
කිසියම් වස්තුවක් හැසිරවීම වැනි ක්‍රියාවක දෑත් යෙදවීම ද තවත් විකල්පයකි. ඔබේ ඇඟලිතුඩු එකිනෙක පිරිමැදීම, පෑනක් පිරිමැදීම, ‘ආතති බෝලයක්’ මිරිකීම ආදිය මේ සඳහා නිදසුන් කිහිපයකි. මේ කිසිම ක්‍රියාවක දී හිසේ කොතැනකවත් අත නො තැබීමට වග බලා ගත යුතු ය. පුරුදු කඩා ගැනීමේ ලා, තරගකාරී ප්‍රතිචාර තරම්, වස්තු හැසිරවීම ප්‍රතිඵලදායී නො වන බව දක්නට ලැබේ. කම්මැලි දැනෙන විට මිනිසුන් යම් වස්තු සමග ක්‍රීඩා කළත්, චිත්තාපර වූ විට මුහුණ හෝ කෙස් වැටිය ඇල්ලීමට නැඹුරු වීම මගින් එය පැහැදිලි වේ.
උත්පාදන කළමනාකරණය
මුහුණ ඇල්ලීමට බලපාන පරිසරය සහ සාධක වෙනස් කිරීමෙන් ඊට ඇති පෙළඹවීමත්, විකල්ප ප්‍රතිචාරවල අවැසිතාවත් අඩු කර ගත හැකි ය. ඔබ මුහුණ අල්ලන්නේ කුමන අවස්ථාවල දී ද, නැතහොත් කුමන ගැඟීම් ඒ සමඟ බද්ධ වී ඇති ද යන්න ඔබගේ වාර්තා සටහන පිරීක්සීමෙන් දැන ගත හැකි ය.
උදාහරණයක් ලෙස ඔබ මුහුණ ඇල්ලීමට යොමු වන්නේ ඔබේ උපැස් යුවල නහය දිගේ ලිස්සන නිසා නම්, එය නිසි ලෙස රඳවා ගැනීමට උපක්‍රමයක් භාවිත කළ හැකි ය. ඔබ නිය සපන්නේ නම්, ඒවා කොටට කපා දැමිය හැකි ය. නැති නම් අඟිලි තුඩු මත ආවරණයක් යෙදීම හෝ අත්වැස්මක් භාවිත කළ හැකි ය. එවිට නිය සැපීම කළ නො හැක්ක කි.
ආසාත්මිකතාවක් නිසා ඔබේ ඇස් හෝ සම කසන්නේ නම් හෝ ‘නහය බුරුල් වී’ ඇති නම් කළ යුත්තේ අසාත්මික දෑවලට අනාවරණය වීම සීමා කිරීමත්, සෙම්ප්‍රතික්ෂාවට ප්‍රතිකාරයක් ගැනීමත් ය. ඔබේ දත් අතර ආහාර කැබලි රැඳෙන්නේ නම්, සෑම කෑම වෙල්කින්ම පසු දත් මැදීමට පුළුවන. ඔබේ කෙහෙරැලි මුහන මත පතිත වන්නේ නම්, ජටාවක් බැඳීම හෝ කේෂ නිෂ්පාදනයක් භාවිත කිරීම මගින් එය වළක්වා ගත හැකි ය.
නැවතීමට නොහැකි වේවි, ඊට මුහුණ දී පාලනය කරන්න
බොහෝ පුද්ගලයන්ට අනවශ්‍ය පුරුදු මුළුමනින් ම අත්හැරීමට නො හැකි ය. එහෙත් ඔවුනට ඒවා අඩු කළ හැකි ය. එමගින් වෛරස ඔබගේ ශරීර පද්ධතියට ඇතුළු වීම ද අඩු කළ හැකි ය.
ඇතැම් අවස්ථාවල දී ඔබට මුහුණ ඇල්ලීමට සිදු වේ. දත් අතර පිරිසිදු කිරීමට, සිවිකාච පැළැඳීමට, තොල් මත රැඳුණු ආහාර කැබලි පිස දැමීමට, රැවුළු බෑමට හෝ වේෂනිරූපණය කිරීම ආදියට ඔබට මුහුණ ඇල්ලීමට සිදු වේ. පළමුව ඔබගේ දෑත් සෝදා ගැනීමට සිහිතබා ගන්න. ඔබගේ අත් නො සෝදා උපැස් යුවල හැඩගැස්වීමට ඔබට අවැසි නම්, ඒ සඳහා ටිෂූවක් භාවිත කළ හැකි නමුත්, භාවිතයෙන් පසු එය වහා ම ඉවතලිය යුතු ය. සෑම අවස්ථාවක දී ම, ආහාර ගැනීමට පෙර අත් සේදිය යුතු ය.
බෝවන රෝගයක් ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා ගත හැකි අනෙකුත් පියවර වන්නේ, සමාජ දුරස්ථභාවය තබා ගැනීමට පුහුණු වීමත්, සබන් සහ ජලයෙන් අත් හොඳින් සෝදා ගැනීම හෝ සනීපාරක්ෂක ද්‍රව්‍යයක් භාවිත කිරීමත්, නිතර නිතර ස්පර්ශට බඳුන්වන පෘෂ්ඨ නිරතුරුව ම විෂබීජ හරණය කිරීමත් ය. කෙසේ නමුත්, දූෂ්‍ය පෘෂ්ඨයක් ඔබ අතින් ස්පර්ශ වුව හොත්, නැවත අත් සෝදන තුරු මුහුණ ඇල්ලීමෙන් වැළකීමට ඉහත විස්තර කළ පිළිවෙත් මහෝපකාරී වනු ඇත.